Tuesday, November 10, 2015

ඉල් සමරුවට නොගියත්, මම මිතුරන්ට දුන් පොරොන්දුව කඩ නොකරමි



මීට වසර විසිහයකට පෙර අද වගේ දිනෙක මා හිටියේ ඔක්කම්පිටිය මහ වනයේය. ඒ 1989 නොවැම්බර් 10 වැනිදා. අපි විසිපස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අවි පුහුණුව ආරම්භ කළේ ඊට පෙර දිනයේය. දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය විසින් දියත් කර තිබූ සිවිල් යුද්ධයේ පෙරමුණ ගැනීමට තරුණ අපේ සිත් නලියමින් තිබුණි. යූ.ඇන්.පී. ආණ්ඩුවට සහ අධිරාජ්‍යවාදී මැදිහත් වීමට එරෙහිව ජනතාව සංවිධානය කළේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයයි. ඊසාන දිග මෝසම් වැස්ස ඒ වන විටත් ඇද හැලෙමින් තිබිණ. පාන්දර පහට ආරම්භ වන පුහුණුව අවසන් වෙන්නේ  අඳුර වැටෙන විටදීය. වැස්ස ඇද වැටුනද පුහුණුවේ විරාමයක් නම් නැත. ඉතා වෙහෙසකර දින පහක් ගෙවා දැමීමට අප සූදානමින් සිටියේය. රූස්ස ගස් යායක්  යට අපේ පුහුණු පිටිය සැකැසී තිබිණ. පිටිය මැදට බාධා වෙන කුඩා ගස් කීපයක් කපා දමා තිබුණ අතර එය සම්පූර්ණයෙන්ම ස්වභාවික පිහිටීමක් බව මට අද වගේ මතකය. පුහුණුව අවසන් වීමට දිනකට පෙර අපේ සිත් ශෝකයෙන් වෙලී ගියේය.

‘‘රෝහණ විජේවීර සහෝදරයා මරා දමලා. සහෝදරවරු කණගාටු වෙන්න එපා. අපි අපේ වැඬේ කරමු’’. අපේ පුහුණුවීම් කටයුතු කළ ආදරණීය මිනිසුන් දෙදෙනා අපට පැවැසූහ. අපව දිරිමත් කළේය. පසු දිනද අපේ පුහුණු කටයුතු සුපුරුදු පරිදි සිදුවිය. එනමුත් එදින රාති‍්‍රයේම අපව විසුරුවා හැරියේය.

චන්දන පසු දින මා සොයා පැමිණෙන විට මා හිටියේ හිඟුරුකඩුවේය. ඒ වන විටත් හිඟුරුකඩුවේ සංවිධාන කටයුතු පැවැරී තිබුණේ මා හටය. මගේ සංවිධායකයා චන්දනය. හේන් යායක් මැද ඉදිව තිබූ පැලට චන්දන ගොඩවන විට රාති‍්‍රය උදා වී තිබුණි. කෝටු මැස්ස මත මා ලඟින්ම වැතිරුණ ඔහු මගේ කණට කොඳුරා කතා කරන්නට විය. ඔක්කම්පිටියේදී මා දැන ගත්තේ ‘‘පක්ෂයේ’’ නායකයින් ඝාතනය කළා කියන පණිවිඩය පමණි. එදා චන්දන දැන සිටි සම්පූර්ණ තොරතුරු මා සමඟ පැවැසීය. අප දෙදෙනාගේ ඇස් පියවුණේ පාන්දර ජාමයේය. අපේ හිත් වේදනාවෙන් පිරී තිබුණද ඒවා අවිනිශ්චිත බවකින් පිරී තිබුණේ නැත.


අවුරුදු විසි අටකට පසු  මා මගේ ජීවිතය දෙස ආපසු හැරී බලන්නට පෙළඹී සිටී. මට දේශපාලනික හා පුද්ගලික වශයෙන් ජීවිත දෙකක් නොතිබිණි. මා නිරතව සිටියේ එකම සටනකය. මා මගේ දෙස ආපසු හැරී බලන්නට පෙළඹුණේ ඇයි? ජීවිතයේ ප‍්‍රථම වතාවට ඉල් සමරු උත්සවයකට මෙවර මා සහභාගී වෙන්නේ නැත. 1990 දීත් අප තිදෙනෙකු විසින් ඉල් සමරු උත්සවයක් පැවැත්වීය. මම, රාජිත අයියා, සහ ඔක්කම්පිටියේ අනුර සමඟ පේරාදෙණිය මල් උයනේදී අපි, අපේ විරුවන් සැමැරීය. විනාඩියක නිශ්ශබ්දතාවයක් සහ අනාගත සටන වෙනුවෙන් සපත කිරීමක් අප අතින් සිද්ධ විය. මා දිව්රා පොරොන්දු වූයේ මා සමඟ ඉගෙන ගත් මගේ පංතියේ මිතුරන් සිහියට නඟමින්ය. සරත්, වීරේ, බන්දු, රණේ සහ සුනිල් මගේ වීරයන්ය. අදත් මා ඔවුන්ට අපිරිමිතව ආදරය කරමි. අපි සටන් කළේ රට කෙරෙහි වූ අපිරිමිත ආදරයකිනි. ජනතාවට ආදරයේ සහ ගෞරවයේ පණිවිඩය රැගෙන ගිය මගේ මිතුරන් මරා දමා තිබුණේ දස වද දීය. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැම ඉල් සමරුවකම මා මටම පොරොන්දු කර ගතිමි. එනමුත් මා මෙවර ‘‘ඉල් සමරු උත්සවයක’’ට සම්බන්ධ වෙන්නේ නැත. එහෙත් මිතුරන්ට මා දුන් පොරොන්දුව කඩ නොකරමි.

Friday, November 6, 2015

ජනාධිපති තුමනි, මහජන චීනය අමතක කළ හැකි දුබලයෙක්ද?

අරුණ සමරකෝන්


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලනික ඥාතිත්වය ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ ගැට ගැසී ඇති බව බොහෝ අය විශ්වාස කරති. ඒ නිසාම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන විරුද්ධවාදීන් ‘‘අගමැතිවරයා’’ අධිරාජ්‍යවාදීන්ගේ කීකරු ගෝලයෙක් ලෙසද හඳුන්වයි. එම පදනමේ සිට ඔහුව දැඩි ලෙස විවේචනයට ලක් කරයි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වන මෙම විවේචනයන්හි දේශපාලනික පදනමක් තිබේද?


එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ රනිල් වික‍්‍රමසිංහ භූමිකාව


    එක්සත් ජාතික පක්ෂයේ සිටි මුල් නායකයින්ගෙන් බහුතරය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සරණ ගියෝ වූහ. යූ.ඇන්.පී. නායකයින්ගෙන් පළමුවෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සරණ ගියේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනයි. ඒ 1950 දශකයේදී ය. එවකට යූ.ඇන්.පී. ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාව සිටි ඔහු පැරණි වම විසින් එදා බෞතීස්ම කරනු ලැබුවේ ‘‘යැංකි ඩිකී’’ යන නමිනි.

 

    1977 දී බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ඔහුගේම වචන වලින් හඳුන්වනවා නම් ‘‘ඔටුනු නොපලන් රජු’’ ය. ඔහු එම නාමයෙන් තමාව හඳුන්වා ගත්තේ විධායක බලතල අත්පත් කරගැනීමෙන් අනුතුරුවය. එවකට බලයේ සිටි ජයවර්ධන මහතාගේ ප‍්‍රධාන උපදේශක (නිල නොවන) වශයෙන් ලඟින්ම සිටියේ එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතායි. ඔහු එවකට යූ.ඇන්.පී.යේ කෘත්‍යාධිකාරී සභාවේ  සාමාජිකයෙකු ලෙසද ජයවර්ධන මහතා විසින් පත් කරගෙන තිබුණි. ලේක් හවුසියේ හිටපු ලොක්කා වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහ, ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ළඟම ඥාතියෙකි. එනම් නෑනාගේ සැමියාය. එස්මන්ඞ් වික‍්‍රමසිංහ එදා පැරණි වමේ නායකයන් විසින් හඳුන්වන ලද්දේ ලංකාවේ ප‍්‍රධානතම යැංකි මධ්‍යම චරපුරුෂ සේවාවේ නියෝජිතයා ලෙසයි. වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පියා වන්නේ එස්මන්ඞ් වික‍්‍රමසිංහ ය. ජයවර්ධන ආණ්ඩුවේ ලාබාලම ඇමැතිවරයෙකු වූ රනිල් වික‍්‍රමසිංහ මහතාද එදා ජයවර්ධන මහතාගේ කෘත්‍යාධිකාරී සභාවේ තාත්තා සමඟ එකට ඉද ගත්තේය. ජේ.ආර්. ජයවර්ධන සහ එස්මන්ඞ් වික‍්‍රමසිංහ අතර තිබූ කිට්ටු ඥාති සම්බන්ධතාවය නිසා රනිල් වික‍්‍රමසිංහ මහතාව එදා හැඳින්වූයේ ‘‘ඔටුන්න හිමි කුමාරයා’’ වශයෙනි. අද ඔහු ලංකා ආණ්ඩුවේ හතරවන වරටත් අගමැති ධූරය හොබවයි. ඔටුන්න හිමි කුමාරයා ලෙස හැසිරෙයි.


    වත්මන් ආණ්ඩුවේ ජනාධිපති ධූරය මෛතී‍්‍රපාල සිරිසේන මහතා දැරුවද ආණ්ඩුවේ වැඩි කි‍්‍රයාකාරී බලය ප‍්‍රායෝගිකව හිමිව තිබෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටය. ඒ නිසාම ආණ්ඩුවේ මතුපිට හැඩයේ වැඩි පංගුවක් කොළ පාටින් පෙනීම ස්වභාවිකය. ජනාධිපති ධූරය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහ අගමැති ධූරය රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමි වීමත් සමඟ ලංකාව සම්බන්ධයෙන් ලෝක දේශපාලන නායකයන්ගේ හැසිරීමද සැළකිය යුතු ලෙස වෙනස් වූ බව සත්‍යයකි. එම හැසිරීම් ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු ඇති කළේය. නමුත් සියළු කාරණා දෙස සර්ව සුභ වාදයෙන්ම බැලීම නුවණැති කි‍්‍රයාවක් නොවේ.


ශී‍්‍ර ලංකා - ජ්‍යාතන්තර යුදෙව් මිත‍්‍ර සංගමය පිහිටුවයි


    2015 ජනවාරි 8 වනදා අලූත් ආණ්ඩුවක් බලයට පැමිණීමෙන් මාස හතරකට පසුව එනම් 2015.5.2 වැනිදා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවේ සංචාරයක නිරත විය. ජනාධිපති සහ අගමැති හමු විය. පසුව මහ මැතිවරණ කාලය එළඹිණ. මහ මැතිවරණය අවසන් වූයේ අගෝස්තු 17 වනදාය. මහ මැතිවරණයෙන් සතියක් ගෙවුනු තැන එනම් අගෝස්තු 24 වනදා බි‍්‍රතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පුද්ගලික සංචාරයක් සඳහා සිය දරු පවුලද සමඟින් ලංකාවේ සංචාරයක නිරත වීමට පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ඔහු ලක්ෂ්මන් කදිරගාමර් සමරු දේශනය එම මධ්‍යස්ථානයේදී පැවැත් වූයේය. දේශනය ආරාධිතයන්ට පමණක් සීමා කර තිබුණි. මාධ්‍ය ආවරණය  සඳහා ආරාධනා නොකළේය. පසුව ‘‘සංහිඳියාවට හොඳ වෙලාව ඇවිල්ලා’’ යන ශීර්ෂය යටතේ ටෝනි බ්ලෙයාර් මහතාගේ දේශනය තිළිණිද සිල්වා විසින් 2015.08.28 දින ලංකාදීප වෙබ් අඩවියට වාර්තා කොට තිබුණි. මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලබා දී තිබුණේ නම් මැදපෙරදිග විශේෂයෙන් ඉරාකයේ සංහිඳියාව විනාශ කළ මිනිසෙකුට ලංකාවේ සංහිදියාව ගැන උපදේශාත්මක කතා කියන්නට තිබෙන සුදුසුකම ප‍්‍රශ්න කරන්නට ඉඩ තිබුණි.

 

    ටෝනි බ්ලෙයාර් මහතාගේ ‘‘පුද්ගලික සංචාරයෙන්’’ දිනකට පසුව එනම් 2015.08.25 දින ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම්  නීශා බිස්වාල් මෙරටට පැමිණියේය. ශී‍්‍ර ලංකාවේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ඇති කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට ඇමෙරිකාවේ පූර්ණ සහය හිමි වන බවට සහතික කිරීම මෙම සංචාරයේ අරමුණ බව නීශා බිස්වාල් රාජ්‍ය ලේකම් වරිය පවසා සිටියාය.

 

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරියගේ සංචාරයෙන් මාසයකට පසුව එනම් 2015.9.24 දින ඊශ‍්‍රායල පාර්ලිමේන්තු කණ්ඩායමක් ලංකාවේ සංචාරයක නිරත විය. එම කණ්ඩායම සතියක කාලයක් එනම් සැප්තැම්බර් 30 වනදා දක්වා  ලංකාවේ රැදී සිටියහ. ඉන් දවස් 20 කට පසුව එනම් 2015.10.20 දින පහළොස් දෙනෙකුගෙන් යුත් ඇමෙරිකානු යුදෙව් කණ්ඩායමක් ලංකාවට පැමිණියේය. ඔවුහු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ගේ මූලිකත්වයෙන් ‘‘ ශී‍්‍ර ලංකා - ජ්‍යාතන්තර යුදෙව් මිත‍්‍ර සංගමය’’ පිහිටුවා ගත්හ.


ජනතාව ලබන සැනැසිල්ලේ වැඩි ගෞරවය ජනාධිපතිටය


   නව ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ විශේෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වීමත් සමඟ පිළිවෙලින් අමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය සහ ඊශ‍්‍රාලය දූතයන් කි‍්‍රයාකාරීව ලංකාවට මැදිහත් වීම කෙරෙහි දේශපාලනික වශයෙන් අවධානයෙන් සිටීම වැදගත්ය. මන්ද මෙම රාජ්‍යයන්ගේ අතීත කි‍්‍රයාකාරීත්වයත් වර්තමාන කි‍්‍රයාකාරීත්වයත් ලෝක සාමය බිද වැටීම කෙරෙහි සෘජුවම බල පා තිබෙන බැවිනි.

 

    වර්ණ ලෝකයේ නම් සියළු වර්ණයන්ට මුල් වන්නේ මූලික වර්ණ තුනකි. එම වර්ණ තුනෙහි මිශ‍්‍රණයෙන් සියළු වර්ණ උපදී. එම මූලික වර්ණයන් වන්නේ රතු, කොළ සහ නිල් ය. දේශපාලනයේදී අගමැතිවරයා නියෝජනය කරණ එක්සත් ජාතික පක්ෂයේ වර්ණය කොළ පාටය. ජනාධිපතිවරයා නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වර්ණය නිල් පාටය. මේ දේශපාලන වර්ණ මිශ‍්‍ර වීමෙන් නව දේශපාලන වර්ණ ලෝකයට දායාද කර දෙමින් තිබේ. නමුත් නිවැරදි වර්ණ සංකලනයක් අවශ්‍යය.


    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිය ඉතිහාසය පුරාම එතෙක් ලෝක වාසීන් නොදැක්ක සහ අත් නොවිදි ආදර්ශයන් ගණනාවක් අත් කර දීමට සමත්ව තිබේ. එම පක්ෂයේ වත්මන් නායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද ඉතිහාසගත භූමිකාවකට පන පොවන්නට සිදුව තිබේ. එතුමා අද නායකත්වය සපයමින් සිටින්නේද මෙතෙක් ලෝකය නොදුටු ආදර්ශයකටය. පීඩනයෙන් සහ භීෂණයෙන් මිරිකුණු ජනතාවකගේ සිත් සතන් තුළට සැනසිල්ල ලබා දීම තරම් විශිෂ්ට කි‍්‍රයාවක් තවත් නැත. රට වෙලාගෙන තිබුණු එම දරුණු පීඩනය මතකයේ තිබෙන  ඕනෑම පුරවැසියෙකුට අද රටේ ජනතාව අත් විඳින සැනැසිල්ලේ වටිනාකම වැටහෙනු ඇත. එම සැනසිල්ල හිමි කර දීමේ ගෞරවයේ අති විශාල පංගුවක් ජනාධිපතිවරයාට හිමි විය යුතුය.


   එහෙත් ශී‍්‍ර ලංකාව සහ ජාත්‍යන්තර සබඳතා අතර තිබෙන බැදියාවන්ගේ  පලූදු වීමක් ද පැහැදිලිවම අද දකින්නට පුළුවන. ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රාලය අපට කිට්ටු වෙන අතර අපට කිට්ටුවෙන් සිටි මහජන චීනය ඈත් කර ගනිමින් සිටින බවක් පෙනේ. ඇමෙරිකා - ඊශ‍්‍රාල ඇලියේ රටවල් විවේචනය නොකරන බොහෝ පිරිස් මහජන චීනය විවේචනය කිරීමට පෙරට එති. නිර්භීතව චීනයට එරෙහිව ලියති. එම නිර්භීතකම් පිටු පසද දේශපාලනයක් නැතුවාම නොවේ.


ශී‍්‍ර ලංකාව සහ මහජන චීනය 


    මහජන චීනය කෙබඳු රටක්ද? එය අමතක කර දැමීමට හැකි දුබලයෙක්ද? වත්මන් ලෝකයේ දෙවන ආර්ථික බලවතා මහජන චීනයයි. එහි දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 10360කි. ලෝක ආර්ථික පංගුවෙන් සියයට 16.71ක් චීනය විසින් අල්ලාගෙන සිටී. මේ හැම හපන් කමක්ම මහජන චීනය කරනුයේ  කෝටි 136ක් ඉක්මවන දැවැන්ත ජනගහනයත් මනාව නඩත්තු කරමිනි. ලෝකයේ වැඩිම ජනගහනයත් දරාගෙන චීනය ආර්ථික වශයෙන් ඇමෙරිකාවද පරාද කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනාගත වාක්‍යද කියති. 


    ආර්ථික බලවතුන්ගෙන් පළමු වැන්නා අමෙරිකා එක්සත් ජනපදයයි. එහි දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 17419 කි. ලෝක ආර්ථික පංගුවෙන් සියයට 28.10 ක් එක්සත් ජනපදය අල්ලාගෙන සිටී. නමුත් එහි ජනගහනය කෝටි 32 නොඉක්මවයි. මේ අතර ලෝක ආර්ථික පංගුවෙන් සියයට 7.42ක් ජපානයටද, බි‍්‍රතාන්‍යයට සියයට 4.74ක්ද හිමිය. ඉන්දියාව හිමිකාරිත්වය දරන්නේ ලෝක ආර්ථිකයෙන් සියයට 3.33 ය. ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 2066 කි. මනෝ ලෝකවල ජීවත්වෙන ලංකාවේ සමහර දේශපාලකයන්ට සහ මාධ්‍ය කරුවන්ට චීනය නොවැදගත් රටක් වුවත් ඇත්ත ලෝකයේදී චීනය දැවැන්තයෙකි.

 

   මහජන චීනය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර ඇත්තේ දිගු කාලීන මිත‍්‍රත්වයකි. එම මිත‍්‍රතත්වය වඩාත් තීව‍්‍ර වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය මා  ඕ සේතුං ගේ නායකත්වයෙන් සිදු කළ සමාජවාදී විප්ලවයත් සමඟිනි. විප්ලවය 1949 ඔක්තෝබර් 01 වැනිදා සම්පූර්ණ විය. විප්ලවයත් සමඟ සියළුම රටවලට චීනය සමඟ එතෙක් පවත්වාගෙන ආ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම් අලූත් කරන්නට සිදු විය. බොහෝ රටවල් චීනය සමඟ ගනු දෙනු නවතා දැමුවේය. මා  ඕ සේතුං ලෝකයට දන්වා සිටියේ චීනය සමාජවාදී රටක් ලෙස පිළිගන්නේ නම් පමණක්  තමන් එම රටවල් සමඟ ගනු දෙනු කිරීමට සූදානම් බවයි. චීනයට ඉතිරි වූයේ අතේ ඇඟිලි ගණනටත් අඩු රටවල් සංඛ්‍යාවකි. නමුත් ශී‍්‍ර ලංකා රජය 1950 ජනවාරි නිවේදනය කර සිටියේ තම රට චීනය සමාජවාදී රටක් ලෙස පිළිගෙන ඔවුන් සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා පවත්වාගෙන යෑමට සූදානම් බවයි. සමාජවාදී චීනයට දකුණු ආසියාවෙන් පළමු මිත‍්‍රයා හමු වන්නේ එළෙසිනි. එපමණක්ද නොව 1952 අපේ‍්‍රල් මාසයේදී සුප‍්‍රසිද්ධ රබර් - සහල් ගිවිසුමට ලංකාව සහ චීනය අත්සන් කළේය. චීනය සමාජවාදී නොවන රටක් සමඟ අත්සන් කළ පළමු ගිවිසුමද එයයි. ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදිත රබර් චීනයට යැවුණු අතර එහි වටිනාකමට සරිලන සහල් චීනයෙන් අපට ලැබුණි. 1957 පෙබරවාරි 7 වනදා එවකට අගමැති එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා චීනය සමඟ සම්පූර්ණ වශයෙන් රාජතාන්ති‍්‍රක සබඳතා පවත්වාගෙන යෑමට ගිවිසුම් අත්සන් කළේය. එය දේශපාලන, ආර්ථික, වෙළද සහ සංස්කෘතිකමය වශයෙන් පුළුල් පරාසයක් දක්වා දිවෙන ගිවිසුමකි. එම ගිවිසුම නිසා බොහෝ වාසි ලංකාවට ලැබුණි. ලෝකයේ සියළුම ධනවාදී රටවල් චීනය අත්හැර යද්දී චීනය අත් නොහැර සිටි එකම මිත‍්‍රයයා ශී‍්‍ර ලංකාවයි. එහි කෘත ගුණ අදටත් චීනය අප රට වෙත පිරි නමයි. එපමණක්ද නොව මහජන චීනය මෙම ඉතිහාසගත කතාව පරපුරෙන් පුරපුරටද රැගෙන යයි. තම රට මුහුණ පෑ අසීරුම මොහොතේ ශී‍්‍ර ලංකාව දැක් වූ සහයෝගය ඔවුන් සිය අධ්‍යාපන පෙළ පොත් වලට එක් කර අනාගත පරම්පරාවන්ට උගන්වයි. මේ හේතුව නිසාම චීනයේ ඈත ගම්මානයක කුඩා දරුවෙක් පවා ශී‍්‍ර ලංකාව ගැනත් එහි වටිනාකම ගැනත් දනිත්. 


ආණ්ඩුවේ කිසිවෙකුට ආදර්ශ ගැනීමට තැනක් නැත


    එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ව වත්මන් ආණ්ඩුව සැකැසී ඇත. ලෝකයටම මෙය අලූත් අත් දැකීමකි. ආණ්ඩුවේ කිසිවෙකුට ආදර්ශ ගැනීමට ලෝකයේ අන් තැනක් නැත. රට කරවන වත්මන් නායකයන් තමාටම තමා ආදර්ශයට ගැනීමටත් සාමූහිකත්වයකට සවන් දීමටත් සිදුව තිබේ. එහෙයින්ම නායකයින් දෙපලම මුහුණ දෙන්නේ සංකීර්ණතා ගොන්නකටය. මෙම තත්වය ශී‍්‍ර ලංකාව සහ ජාත්‍යන්තර සබඳතා අතර තිබෙන පරස්පරතා කළමණාකරණය කිරීම විටෙක පහසු කරයි. තවත් විටෙක අසීරු කාර්යයක් බවට පත් කරයි. එහෙත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පැවැරී ඇති වගකීමද වන්නේ මෙම අසීරුතා කළමණා කරගැනීමයි. තීන්ත තිබෙන්නේ නම් රූප ඇදිය හැකි චිත‍්‍ර ශිල්පීන් බොහෝ පිරිසක් සිටිති. නමුත් නිවැරදිව වර්ණ සංයෝජනය කිරීම රූප ඇදිය හැකි හැම සිතුවම් කරුවෙකුටම කළ නොහැකිය. ජනාධිපති තුමනි, ඔබ රූප නොඇන්දාට කමක් නැත. නිවැරදි වර්ණ සකසා දෙන්න. අන් ශිල්පීන් රූප අඳිනු ඇත. නොඑසේනම් විකාර රූප වලින් ලංකාව වැසී යනු ඇත.

යටත් විජිත තත්වයේ ඇති සමාජයක් නිදහස් සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය අපට ඇත - එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වරයායි. එතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අන්‍යන්‍යතා සලකුණද වේ. එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතූ ප‍්‍රථම ලංකා අගමැතිවරයා වන්නේද එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතායි. එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඉදිරියේ එතුමා කළ පළමු කථාවෙන්ම ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ දැක්මත්  රට සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියත් ලෝක වාසීන්ට මැනවින් ඉදිරිපත් කළේය. අදින් වසර 60කට ඉහතදී ගෙන හැර පෑ       එතුමාගේ දැක්ම එදා මෙන්ම අදට ද වටින්නේය.

පහත සටහන් වන්නේ 1956 නොවැම්බර් 22 වෙනිදා එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී එතුමා කළ කථාවෙන් උපුටා ගත් කොටසකි.