Friday, November 6, 2015

යටත් විජිත තත්වයේ ඇති සමාජයක් නිදහස් සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය අපට ඇත - එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වරයායි. එතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අන්‍යන්‍යතා සලකුණද වේ. එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතූ ප‍්‍රථම ලංකා අගමැතිවරයා වන්නේද එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතායි. එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඉදිරියේ එතුමා කළ පළමු කථාවෙන්ම ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ දැක්මත්  රට සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියත් ලෝක වාසීන්ට මැනවින් ඉදිරිපත් කළේය. අදින් වසර 60කට ඉහතදී ගෙන හැර පෑ       එතුමාගේ දැක්ම එදා මෙන්ම අදට ද වටින්නේය.

පහත සටහන් වන්නේ 1956 නොවැම්බර් 22 වෙනිදා එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී එතුමා කළ කථාවෙන් උපුටා ගත් කොටසකි.


 අරුණ සමරකෝන්

නොනිසි ලෙස අන්‍යොන්‍යයන් හට චෝදනා කර ගැනීමෙන් හෝ ඇන බැන ගැනීමෙන් හෝ අපට ලැබෙන ලාභයක් නම් නැත. තමන් වහන්සේ වෙත පැමිණ පැය ගණනක් තිස්සේ බැණ වැදුණු ප‍්‍රතිවාදියෙකුට බුදුන් වහන්සේ දුන් පිළිතුර පිළිබඳ පුවත බෞද්ධයකු වශයෙන් මම සිහිපත් කරමි. ඔහුගේ බැණුම් සියල්ලට ඉවසිල්ලෙන් සවන් දුන් සර්වඥයන් වහන්සේ ‘‘ යහළුව, ඔබගේ  මේ වර මඟුලක් සඳහා ආරාධිත වූ අමුත්තන්  යම් හෙයකින් නොපැමිණි නම් පිළයෙල කරන ලද ආහාරවලට ඔබ කුමක් කරනවාදැයි’’ පිළි විසූ සේක. ‘‘ඉදින් ඔවුන් යම් හෙයකින්  නොපැමිණියේ නම් මගේ පුත‍්‍රදාරෝවද මමද ඒ ආහාර අනුභව කරම්හ’’යි හෙතෙම පිළිතුරු දුන්නේය. ‘‘ඔබ මට අක්‍රෝශ දානය කළෝය. මම එය පිළිනොගනිමි. එහෙයින් ඔබම එය භාර ගන්නැ’’යි භාග්‍යවතුන් වහන්සේ ඔහුට පැවැසූහ.
අන්‍යොන්‍ය චෝදනාවලින්ද, දරුණු අක්‍රෝශ පරිභවයෙන් සහ රොස් පරොස් බසින් එකි නෙකා ගේ සිත් රිද වීමෙන්  අපට ලැබෙන ලාභයක් නම් නැත්තේය.
සියවස් ගණනක් මුළුල්ලේ අධිරාජ්‍යවාදී යටත් විදේශ පාලනයකින් පෙළුණු ආසියා ජාතීන් වන අප අධිරාජ්‍යවාදයට සහ යටත් විජිත වාදය පිළිබඳ යම් කිසි පුනරුත්ථානයකට හේතු වන කවර දෙයකින් හෝ බලවත් ලෙස ඇවිස්සීම ස්වභාවිකය.
අවුරුදු තුන් සියයක හෝ හාර සියයක යටත් විජිත පාලනයකින් පසු අප රටවල් බොහෝමයක් යළි නිදහස්ව සිටියි. නව නිදහස පිළිබඳ මේ යුගයේ දී ප‍්‍රශ්න දෙකකට - ප‍්‍රශ්නයක්  ඇතුළත පිහිටි ප‍්‍රශ්නයකට - අප මුහුණ පා සිටිමු. දේශපාලන වශයෙන්  සමාජමය වශයෙන් සහ ආර්ථික වශයෙන්  යටත් විජිත තත්වයේ ඇති සමාජයක් නිදහස් සමාජයක් බවට පරිවර්තනය කිරීම මින් පළමු වැන්නය. එම පරිවර්තනය වෙනස් වන ලෝක තත්වයට ගැලපෙන සේ සිදු කරලීම දෙවැන්නය.
අපගේ ගරුත්වය රැකෙන පරිදි හා ප‍්‍රතිපත්ති වලින් පිට නොපැන දිවි රැක ගැනීමටත්, අනුනගේ දිවි රැක දීමටත් අපට සිදු වී තිබේ
අද ලොව පවත්නේ වෙනස් වන  සුළු තත්වයකය. එක් සමාජයකින් තවත් සමාජයකට, එක් සභ්‍යත්වයකින් තවත් සභ්‍යත්වයකට ලොව පරිවර්තනය වන්නා වූ කාලාන්තරයෙන් කාලාන්තරයට සිදුවන ඒ දුර්ලභ අවස්ථාවක දැන් ලොව පවතී. ඇත්ත වශයෙන්ම පරණ සහ අලූත් යන සභ්‍යත්ව දෙකේ අන්තර් පරිච්ඡේදයෙහි දැන් අපි ජීවත් වෙමු. මෙවැනි කාල පරිච්ඡේදයක මතාන්තරමය, ජාතිකමය, දේශපාලනමය ආදී සියලූ කරුණු  සම්බන්ධ ප‍්‍රශ්න පැන නගී. මෙය අතීතයේදීද සිදු වී ඇත. අතීතයේදී එවැන්නක් සිදු වූ කල එය විසදා ගන්නා ලද්දේ අතන මෙතන ඇති වූ පොඩි පහේ යුද්ධයකිනි. අද අපට යුද්ධයක් කිරීමට තරම් හපන්කමක් නොමැත. එයින් වන හරිය අප කවුරුත් දන්නා හෙයිනි.
ඒ නිසා අද අප මුහුණ පා ඇත්තේ මිනිසාට කිසි දිනෙක මුහුණ පාන්නට සිදු නොවූ තරමේ බැ?රුම් තත්වයකටයි.  එනම් ස්ථාවර මිනිස් සමාජයක් ඇති කිරීමට මේ අවස්ථාව කොට ගැනීමයි.  නොයෙකුත් මතභේද අතරේ මෙය අප කළ යුත්තේ  සෑහෙන පමණ සාමය ඇතිව හා යුද්ධයට තුඩු දෙන මත භේද මඟ හරවා ගැනීමෙන්ය. අද ලෝකයේ යුද්ධයක් ගැන නම් සිතිය නොහැකි තරම් බැවිනි. මේ වනාහී අපද දිවි රැකගෙන අනුනටද දිවි රැක ගැනීමට ඉඩ දිය යුතු යුගයකි. යම් ‘‘වාදයක් හෝ අනෙක් කරුණක් ’’ හෝ හේතුවෙන් මුළු මිනිස් වර්ගයාම පාවා දීමට සිදුවන පමණට එකිනෙකා වෙර වැඞීමට නොහැකි යුගයකි. අපගේ ගරුත්වය රැකෙන පරිදි හා අප ඉතා ආදරයෙන් සළකන ප‍්‍රතිපත්ති වලින් පිට නොපැන දිවි රැුක ගැනීමටත්, අනුනට දිවි රැුක ගැනීමට ඉඩ දීමටත් අපට සිදු වී තිබේ.
සහජීවනය පිළිබඳ ප‍්‍රතිපත්තිය පිටුපසින් ඇති දර්ශනයකි මේ. මා මුලින් කියා ඇති පරිදි අප රට ජනයාට වඩාම සුදුසු නව විධියේ අලූත් සමාජයක් බිහි කර ගැනීමට අපට සිදු වී ඇත. වෙනස් වන අද ලෝකය හා සම්බන්ධිතව වසන අපට සුදුසු සමඟි සම්පන්න  සමාජයක් ඇතිවන තුරු මේ පැත්තෙන් ඇතැම් අදහස් උදහස් ද අනෙක් පැත්තෙන් තව අදහස් ද ලැබීමට අපි කැමැත්තෙමු. මේ බල කඳවුරට හෝ අර බල කඳවුරට හෝ අප අයත් නොවී සිටින්නේ මේ නිසාය. මැදිහත් බව පිළිබඳ දර්ශනය නම් එයයි. ඒ වනාහි වංක පැවැත්මෙන් නොවේ. දෙපසින්ම හොඳ දෑ ලැබීමට හැකි දැයි වැට උඩ සිට බැලීමක් නොවෙයි. ඒ වූකලී අවස්ථානුකූලව අපේ ඇෙඟ් ගසන ලද්දකි. අප විරුද්ධවාදී දෙපසක් අතර ඇති පරතරයෙහි පාලමක් ලෙස සිටිනා බැවින් අද ලෝකයට ඉතා වැඩදායි අයුරිනි අප සිටිනුයේ.
අප වනාහි නොබැඳුණ ජාතීන්ලූ. ඒ වචනය යෙදීම ගැන මම තරයේ විරුද්ධ වෙමි
අප වනාහි නොබැඳුණ ජාතීන්ලූ. ඒ වචනය යෙදීම ගැන මම තරයේ විරුද්ධ වෙමි. අපි සම්පූර්ණයෙන්ම බැඳුණේ වෙමු. අන් හැම කෙනෙකු මෙන්ම ජාතීන් අතර හුවමාරුවලදී විනීත වීමට අපි බැඳී සිටිමු. ඒ කෙටියෙන් අප ආසියාවේ දරණ තත්වයයි. එය වරදවා තේරුම් නොගනී යැයි මම අදහස් කරමි.
සාමය යනු කුමක්ද? සාමය යනු හුදෙක් එක් මිනිස් කොටසක් වැනසුමට තතනන අනෙක් කොටසක් නැති කමින් ඇති වන්නක් නොවේ. යුද වලකාලීම සාමය උදෙසා අවශ්‍යයෙන්ම කළ යුත්තක් බවට සැකයක් නැත. සාමය යනු ඊට වඩා පුළුල් තේරුමකින් ගත යුත්තකි. ඒ වනාහි ඇත්තේ හැටියට මිනිසා වටහා ගැන්මත් මිනිස් සහෝදරත්වයත්, සහයෝගිත්වයත් ඇති කර ගැන්මක් හෙයිනි. නියම සාමය ඇති විය හැක්කේ මේ මඟින් පමණි. අද ලෝකයේ මිනිසාට සාමය, සහෝදරත්වය හා සාමූහිකත්වය ඇති කර ගැනීමේදී තම අනභභවනීය  මිනිස්කම පෙන්වීමේ එකම මඟ මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හැටියට මම සලකමි.
රටකින් ඉටුවිය යුතු සේවය, රටේ ප‍්‍රමාණය, ජනගහනය, බලය හෝ ශක්තිය හෝ සලකා බැලීමෙන් මැනිය යුතු නොවේ
මගේ රට කුඩාය. දුබලය. දුප්පත්ය. එහෙත් අද ලෝකයේ වෙසෙසින්ම මෙවැනි ආයතනයකදී රටකින් ඉටුවිය යුතු සේවය, සාමාජිකයෙකුගෙන්  ඉටුවිය යුතු සේවය එකී රටේ ප‍්‍රමාණය, ජනගහනය, බලය හෝ ශක්තිය හෝ සලකා බැලීමෙන් මැනිය යුතු නොවේ. මේ වනාහි චෛතසික බලයක්  තුළින් අදහස් ප‍්‍රබල ලෙස දක්වන සංවිධානයකි. මේ බලය නම් මිනිසාගේ සාමුහික චෛතසික බලය හා විනීත කමයි. දුබලයාට මෙන්ම බලවතාටද එකසේ සේවයක් කළ හැකි වැඩකි මෙය. මෙම සංවිධානයේ ඒ උතුම් පරමාර්ථ ඉටුකර ගැනීම් වස් අපට දිය හැකි හැම උපකාරයක්ම අවංකව යොදන බවට මේ සභාවට අප රට වෙනුවෙන් සහතික කොට කියමි.

ආසියාතික රටවල් කිසිවකට නොබැඳී සිටින කොට්ඨාශයක් යැයි අපරදිග පවතින මතයට මම එකඟ නොවෙමි. සත්තකින්ම  ඔවුන් නොබැඳී සිටින කොට්ඨාශයක් නොවේ. මිනිසා සමඟ කරන යනු - එනු, ගනු - දෙනු  ආදියේදී ශිෂ්ට සම්පන්න භාවය සහ මිනිස් නිදහස රැක ගැනීමට අපේ රටවල් සාකල්‍යයෙන්ම බැඳී සිටින්නාහු වෙත්.          

No comments:

Post a Comment