Tuesday, November 10, 2015

ඉල් සමරුවට නොගියත්, මම මිතුරන්ට දුන් පොරොන්දුව කඩ නොකරමි



මීට වසර විසිහයකට පෙර අද වගේ දිනෙක මා හිටියේ ඔක්කම්පිටිය මහ වනයේය. ඒ 1989 නොවැම්බර් 10 වැනිදා. අපි විසිපස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අවි පුහුණුව ආරම්භ කළේ ඊට පෙර දිනයේය. දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය විසින් දියත් කර තිබූ සිවිල් යුද්ධයේ පෙරමුණ ගැනීමට තරුණ අපේ සිත් නලියමින් තිබුණි. යූ.ඇන්.පී. ආණ්ඩුවට සහ අධිරාජ්‍යවාදී මැදිහත් වීමට එරෙහිව ජනතාව සංවිධානය කළේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයයි. ඊසාන දිග මෝසම් වැස්ස ඒ වන විටත් ඇද හැලෙමින් තිබිණ. පාන්දර පහට ආරම්භ වන පුහුණුව අවසන් වෙන්නේ  අඳුර වැටෙන විටදීය. වැස්ස ඇද වැටුනද පුහුණුවේ විරාමයක් නම් නැත. ඉතා වෙහෙසකර දින පහක් ගෙවා දැමීමට අප සූදානමින් සිටියේය. රූස්ස ගස් යායක්  යට අපේ පුහුණු පිටිය සැකැසී තිබිණ. පිටිය මැදට බාධා වෙන කුඩා ගස් කීපයක් කපා දමා තිබුණ අතර එය සම්පූර්ණයෙන්ම ස්වභාවික පිහිටීමක් බව මට අද වගේ මතකය. පුහුණුව අවසන් වීමට දිනකට පෙර අපේ සිත් ශෝකයෙන් වෙලී ගියේය.

‘‘රෝහණ විජේවීර සහෝදරයා මරා දමලා. සහෝදරවරු කණගාටු වෙන්න එපා. අපි අපේ වැඬේ කරමු’’. අපේ පුහුණුවීම් කටයුතු කළ ආදරණීය මිනිසුන් දෙදෙනා අපට පැවැසූහ. අපව දිරිමත් කළේය. පසු දිනද අපේ පුහුණු කටයුතු සුපුරුදු පරිදි සිදුවිය. එනමුත් එදින රාති‍්‍රයේම අපව විසුරුවා හැරියේය.

චන්දන පසු දින මා සොයා පැමිණෙන විට මා හිටියේ හිඟුරුකඩුවේය. ඒ වන විටත් හිඟුරුකඩුවේ සංවිධාන කටයුතු පැවැරී තිබුණේ මා හටය. මගේ සංවිධායකයා චන්දනය. හේන් යායක් මැද ඉදිව තිබූ පැලට චන්දන ගොඩවන විට රාති‍්‍රය උදා වී තිබුණි. කෝටු මැස්ස මත මා ලඟින්ම වැතිරුණ ඔහු මගේ කණට කොඳුරා කතා කරන්නට විය. ඔක්කම්පිටියේදී මා දැන ගත්තේ ‘‘පක්ෂයේ’’ නායකයින් ඝාතනය කළා කියන පණිවිඩය පමණි. එදා චන්දන දැන සිටි සම්පූර්ණ තොරතුරු මා සමඟ පැවැසීය. අප දෙදෙනාගේ ඇස් පියවුණේ පාන්දර ජාමයේය. අපේ හිත් වේදනාවෙන් පිරී තිබුණද ඒවා අවිනිශ්චිත බවකින් පිරී තිබුණේ නැත.


අවුරුදු විසි අටකට පසු  මා මගේ ජීවිතය දෙස ආපසු හැරී බලන්නට පෙළඹී සිටී. මට දේශපාලනික හා පුද්ගලික වශයෙන් ජීවිත දෙකක් නොතිබිණි. මා නිරතව සිටියේ එකම සටනකය. මා මගේ දෙස ආපසු හැරී බලන්නට පෙළඹුණේ ඇයි? ජීවිතයේ ප‍්‍රථම වතාවට ඉල් සමරු උත්සවයකට මෙවර මා සහභාගී වෙන්නේ නැත. 1990 දීත් අප තිදෙනෙකු විසින් ඉල් සමරු උත්සවයක් පැවැත්වීය. මම, රාජිත අයියා, සහ ඔක්කම්පිටියේ අනුර සමඟ පේරාදෙණිය මල් උයනේදී අපි, අපේ විරුවන් සැමැරීය. විනාඩියක නිශ්ශබ්දතාවයක් සහ අනාගත සටන වෙනුවෙන් සපත කිරීමක් අප අතින් සිද්ධ විය. මා දිව්රා පොරොන්දු වූයේ මා සමඟ ඉගෙන ගත් මගේ පංතියේ මිතුරන් සිහියට නඟමින්ය. සරත්, වීරේ, බන්දු, රණේ සහ සුනිල් මගේ වීරයන්ය. අදත් මා ඔවුන්ට අපිරිමිතව ආදරය කරමි. අපි සටන් කළේ රට කෙරෙහි වූ අපිරිමිත ආදරයකිනි. ජනතාවට ආදරයේ සහ ගෞරවයේ පණිවිඩය රැගෙන ගිය මගේ මිතුරන් මරා දමා තිබුණේ දස වද දීය. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැම ඉල් සමරුවකම මා මටම පොරොන්දු කර ගතිමි. එනමුත් මා මෙවර ‘‘ඉල් සමරු උත්සවයක’’ට සම්බන්ධ වෙන්නේ නැත. එහෙත් මිතුරන්ට මා දුන් පොරොන්දුව කඩ නොකරමි.

Friday, November 6, 2015

ජනාධිපති තුමනි, මහජන චීනය අමතක කළ හැකි දුබලයෙක්ද?

අරුණ සමරකෝන්


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලනික ඥාතිත්වය ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ ගැට ගැසී ඇති බව බොහෝ අය විශ්වාස කරති. ඒ නිසාම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන විරුද්ධවාදීන් ‘‘අගමැතිවරයා’’ අධිරාජ්‍යවාදීන්ගේ කීකරු ගෝලයෙක් ලෙසද හඳුන්වයි. එම පදනමේ සිට ඔහුව දැඩි ලෙස විවේචනයට ලක් කරයි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වන මෙම විවේචනයන්හි දේශපාලනික පදනමක් තිබේද?


එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ රනිල් වික‍්‍රමසිංහ භූමිකාව


    එක්සත් ජාතික පක්ෂයේ සිටි මුල් නායකයින්ගෙන් බහුතරය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සරණ ගියෝ වූහ. යූ.ඇන්.පී. නායකයින්ගෙන් පළමුවෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සරණ ගියේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනයි. ඒ 1950 දශකයේදී ය. එවකට යූ.ඇන්.පී. ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාව සිටි ඔහු පැරණි වම විසින් එදා බෞතීස්ම කරනු ලැබුවේ ‘‘යැංකි ඩිකී’’ යන නමිනි.

 

    1977 දී බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ඔහුගේම වචන වලින් හඳුන්වනවා නම් ‘‘ඔටුනු නොපලන් රජු’’ ය. ඔහු එම නාමයෙන් තමාව හඳුන්වා ගත්තේ විධායක බලතල අත්පත් කරගැනීමෙන් අනුතුරුවය. එවකට බලයේ සිටි ජයවර්ධන මහතාගේ ප‍්‍රධාන උපදේශක (නිල නොවන) වශයෙන් ලඟින්ම සිටියේ එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතායි. ඔහු එවකට යූ.ඇන්.පී.යේ කෘත්‍යාධිකාරී සභාවේ  සාමාජිකයෙකු ලෙසද ජයවර්ධන මහතා විසින් පත් කරගෙන තිබුණි. ලේක් හවුසියේ හිටපු ලොක්කා වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහ, ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ළඟම ඥාතියෙකි. එනම් නෑනාගේ සැමියාය. එස්මන්ඞ් වික‍්‍රමසිංහ එදා පැරණි වමේ නායකයන් විසින් හඳුන්වන ලද්දේ ලංකාවේ ප‍්‍රධානතම යැංකි මධ්‍යම චරපුරුෂ සේවාවේ නියෝජිතයා ලෙසයි. වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පියා වන්නේ එස්මන්ඞ් වික‍්‍රමසිංහ ය. ජයවර්ධන ආණ්ඩුවේ ලාබාලම ඇමැතිවරයෙකු වූ රනිල් වික‍්‍රමසිංහ මහතාද එදා ජයවර්ධන මහතාගේ කෘත්‍යාධිකාරී සභාවේ තාත්තා සමඟ එකට ඉද ගත්තේය. ජේ.ආර්. ජයවර්ධන සහ එස්මන්ඞ් වික‍්‍රමසිංහ අතර තිබූ කිට්ටු ඥාති සම්බන්ධතාවය නිසා රනිල් වික‍්‍රමසිංහ මහතාව එදා හැඳින්වූයේ ‘‘ඔටුන්න හිමි කුමාරයා’’ වශයෙනි. අද ඔහු ලංකා ආණ්ඩුවේ හතරවන වරටත් අගමැති ධූරය හොබවයි. ඔටුන්න හිමි කුමාරයා ලෙස හැසිරෙයි.


    වත්මන් ආණ්ඩුවේ ජනාධිපති ධූරය මෛතී‍්‍රපාල සිරිසේන මහතා දැරුවද ආණ්ඩුවේ වැඩි කි‍්‍රයාකාරී බලය ප‍්‍රායෝගිකව හිමිව තිබෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටය. ඒ නිසාම ආණ්ඩුවේ මතුපිට හැඩයේ වැඩි පංගුවක් කොළ පාටින් පෙනීම ස්වභාවිකය. ජනාධිපති ධූරය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහ අගමැති ධූරය රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමි වීමත් සමඟ ලංකාව සම්බන්ධයෙන් ලෝක දේශපාලන නායකයන්ගේ හැසිරීමද සැළකිය යුතු ලෙස වෙනස් වූ බව සත්‍යයකි. එම හැසිරීම් ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු ඇති කළේය. නමුත් සියළු කාරණා දෙස සර්ව සුභ වාදයෙන්ම බැලීම නුවණැති කි‍්‍රයාවක් නොවේ.


ශී‍්‍ර ලංකා - ජ්‍යාතන්තර යුදෙව් මිත‍්‍ර සංගමය පිහිටුවයි


    2015 ජනවාරි 8 වනදා අලූත් ආණ්ඩුවක් බලයට පැමිණීමෙන් මාස හතරකට පසුව එනම් 2015.5.2 වැනිදා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවේ සංචාරයක නිරත විය. ජනාධිපති සහ අගමැති හමු විය. පසුව මහ මැතිවරණ කාලය එළඹිණ. මහ මැතිවරණය අවසන් වූයේ අගෝස්තු 17 වනදාය. මහ මැතිවරණයෙන් සතියක් ගෙවුනු තැන එනම් අගෝස්තු 24 වනදා බි‍්‍රතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පුද්ගලික සංචාරයක් සඳහා සිය දරු පවුලද සමඟින් ලංකාවේ සංචාරයක නිරත වීමට පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ඔහු ලක්ෂ්මන් කදිරගාමර් සමරු දේශනය එම මධ්‍යස්ථානයේදී පැවැත් වූයේය. දේශනය ආරාධිතයන්ට පමණක් සීමා කර තිබුණි. මාධ්‍ය ආවරණය  සඳහා ආරාධනා නොකළේය. පසුව ‘‘සංහිඳියාවට හොඳ වෙලාව ඇවිල්ලා’’ යන ශීර්ෂය යටතේ ටෝනි බ්ලෙයාර් මහතාගේ දේශනය තිළිණිද සිල්වා විසින් 2015.08.28 දින ලංකාදීප වෙබ් අඩවියට වාර්තා කොට තිබුණි. මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලබා දී තිබුණේ නම් මැදපෙරදිග විශේෂයෙන් ඉරාකයේ සංහිඳියාව විනාශ කළ මිනිසෙකුට ලංකාවේ සංහිදියාව ගැන උපදේශාත්මක කතා කියන්නට තිබෙන සුදුසුකම ප‍්‍රශ්න කරන්නට ඉඩ තිබුණි.

 

    ටෝනි බ්ලෙයාර් මහතාගේ ‘‘පුද්ගලික සංචාරයෙන්’’ දිනකට පසුව එනම් 2015.08.25 දින ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම්  නීශා බිස්වාල් මෙරටට පැමිණියේය. ශී‍්‍ර ලංකාවේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ඇති කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට ඇමෙරිකාවේ පූර්ණ සහය හිමි වන බවට සහතික කිරීම මෙම සංචාරයේ අරමුණ බව නීශා බිස්වාල් රාජ්‍ය ලේකම් වරිය පවසා සිටියාය.

 

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරියගේ සංචාරයෙන් මාසයකට පසුව එනම් 2015.9.24 දින ඊශ‍්‍රායල පාර්ලිමේන්තු කණ්ඩායමක් ලංකාවේ සංචාරයක නිරත විය. එම කණ්ඩායම සතියක කාලයක් එනම් සැප්තැම්බර් 30 වනදා දක්වා  ලංකාවේ රැදී සිටියහ. ඉන් දවස් 20 කට පසුව එනම් 2015.10.20 දින පහළොස් දෙනෙකුගෙන් යුත් ඇමෙරිකානු යුදෙව් කණ්ඩායමක් ලංකාවට පැමිණියේය. ඔවුහු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ගේ මූලිකත්වයෙන් ‘‘ ශී‍්‍ර ලංකා - ජ්‍යාතන්තර යුදෙව් මිත‍්‍ර සංගමය’’ පිහිටුවා ගත්හ.


ජනතාව ලබන සැනැසිල්ලේ වැඩි ගෞරවය ජනාධිපතිටය


   නව ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ විශේෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වීමත් සමඟ පිළිවෙලින් අමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය සහ ඊශ‍්‍රාලය දූතයන් කි‍්‍රයාකාරීව ලංකාවට මැදිහත් වීම කෙරෙහි දේශපාලනික වශයෙන් අවධානයෙන් සිටීම වැදගත්ය. මන්ද මෙම රාජ්‍යයන්ගේ අතීත කි‍්‍රයාකාරීත්වයත් වර්තමාන කි‍්‍රයාකාරීත්වයත් ලෝක සාමය බිද වැටීම කෙරෙහි සෘජුවම බල පා තිබෙන බැවිනි.

 

    වර්ණ ලෝකයේ නම් සියළු වර්ණයන්ට මුල් වන්නේ මූලික වර්ණ තුනකි. එම වර්ණ තුනෙහි මිශ‍්‍රණයෙන් සියළු වර්ණ උපදී. එම මූලික වර්ණයන් වන්නේ රතු, කොළ සහ නිල් ය. දේශපාලනයේදී අගමැතිවරයා නියෝජනය කරණ එක්සත් ජාතික පක්ෂයේ වර්ණය කොළ පාටය. ජනාධිපතිවරයා නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වර්ණය නිල් පාටය. මේ දේශපාලන වර්ණ මිශ‍්‍ර වීමෙන් නව දේශපාලන වර්ණ ලෝකයට දායාද කර දෙමින් තිබේ. නමුත් නිවැරදි වර්ණ සංකලනයක් අවශ්‍යය.


    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිය ඉතිහාසය පුරාම එතෙක් ලෝක වාසීන් නොදැක්ක සහ අත් නොවිදි ආදර්ශයන් ගණනාවක් අත් කර දීමට සමත්ව තිබේ. එම පක්ෂයේ වත්මන් නායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද ඉතිහාසගත භූමිකාවකට පන පොවන්නට සිදුව තිබේ. එතුමා අද නායකත්වය සපයමින් සිටින්නේද මෙතෙක් ලෝකය නොදුටු ආදර්ශයකටය. පීඩනයෙන් සහ භීෂණයෙන් මිරිකුණු ජනතාවකගේ සිත් සතන් තුළට සැනසිල්ල ලබා දීම තරම් විශිෂ්ට කි‍්‍රයාවක් තවත් නැත. රට වෙලාගෙන තිබුණු එම දරුණු පීඩනය මතකයේ තිබෙන  ඕනෑම පුරවැසියෙකුට අද රටේ ජනතාව අත් විඳින සැනැසිල්ලේ වටිනාකම වැටහෙනු ඇත. එම සැනසිල්ල හිමි කර දීමේ ගෞරවයේ අති විශාල පංගුවක් ජනාධිපතිවරයාට හිමි විය යුතුය.


   එහෙත් ශී‍්‍ර ලංකාව සහ ජාත්‍යන්තර සබඳතා අතර තිබෙන බැදියාවන්ගේ  පලූදු වීමක් ද පැහැදිලිවම අද දකින්නට පුළුවන. ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රාලය අපට කිට්ටු වෙන අතර අපට කිට්ටුවෙන් සිටි මහජන චීනය ඈත් කර ගනිමින් සිටින බවක් පෙනේ. ඇමෙරිකා - ඊශ‍්‍රාල ඇලියේ රටවල් විවේචනය නොකරන බොහෝ පිරිස් මහජන චීනය විවේචනය කිරීමට පෙරට එති. නිර්භීතව චීනයට එරෙහිව ලියති. එම නිර්භීතකම් පිටු පසද දේශපාලනයක් නැතුවාම නොවේ.


ශී‍්‍ර ලංකාව සහ මහජන චීනය 


    මහජන චීනය කෙබඳු රටක්ද? එය අමතක කර දැමීමට හැකි දුබලයෙක්ද? වත්මන් ලෝකයේ දෙවන ආර්ථික බලවතා මහජන චීනයයි. එහි දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 10360කි. ලෝක ආර්ථික පංගුවෙන් සියයට 16.71ක් චීනය විසින් අල්ලාගෙන සිටී. මේ හැම හපන් කමක්ම මහජන චීනය කරනුයේ  කෝටි 136ක් ඉක්මවන දැවැන්ත ජනගහනයත් මනාව නඩත්තු කරමිනි. ලෝකයේ වැඩිම ජනගහනයත් දරාගෙන චීනය ආර්ථික වශයෙන් ඇමෙරිකාවද පරාද කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනාගත වාක්‍යද කියති. 


    ආර්ථික බලවතුන්ගෙන් පළමු වැන්නා අමෙරිකා එක්සත් ජනපදයයි. එහි දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 17419 කි. ලෝක ආර්ථික පංගුවෙන් සියයට 28.10 ක් එක්සත් ජනපදය අල්ලාගෙන සිටී. නමුත් එහි ජනගහනය කෝටි 32 නොඉක්මවයි. මේ අතර ලෝක ආර්ථික පංගුවෙන් සියයට 7.42ක් ජපානයටද, බි‍්‍රතාන්‍යයට සියයට 4.74ක්ද හිමිය. ඉන්දියාව හිමිකාරිත්වය දරන්නේ ලෝක ආර්ථිකයෙන් සියයට 3.33 ය. ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 2066 කි. මනෝ ලෝකවල ජීවත්වෙන ලංකාවේ සමහර දේශපාලකයන්ට සහ මාධ්‍ය කරුවන්ට චීනය නොවැදගත් රටක් වුවත් ඇත්ත ලෝකයේදී චීනය දැවැන්තයෙකි.

 

   මහජන චීනය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර ඇත්තේ දිගු කාලීන මිත‍්‍රත්වයකි. එම මිත‍්‍රතත්වය වඩාත් තීව‍්‍ර වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය මා  ඕ සේතුං ගේ නායකත්වයෙන් සිදු කළ සමාජවාදී විප්ලවයත් සමඟිනි. විප්ලවය 1949 ඔක්තෝබර් 01 වැනිදා සම්පූර්ණ විය. විප්ලවයත් සමඟ සියළුම රටවලට චීනය සමඟ එතෙක් පවත්වාගෙන ආ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම් අලූත් කරන්නට සිදු විය. බොහෝ රටවල් චීනය සමඟ ගනු දෙනු නවතා දැමුවේය. මා  ඕ සේතුං ලෝකයට දන්වා සිටියේ චීනය සමාජවාදී රටක් ලෙස පිළිගන්නේ නම් පමණක්  තමන් එම රටවල් සමඟ ගනු දෙනු කිරීමට සූදානම් බවයි. චීනයට ඉතිරි වූයේ අතේ ඇඟිලි ගණනටත් අඩු රටවල් සංඛ්‍යාවකි. නමුත් ශී‍්‍ර ලංකා රජය 1950 ජනවාරි නිවේදනය කර සිටියේ තම රට චීනය සමාජවාදී රටක් ලෙස පිළිගෙන ඔවුන් සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා පවත්වාගෙන යෑමට සූදානම් බවයි. සමාජවාදී චීනයට දකුණු ආසියාවෙන් පළමු මිත‍්‍රයා හමු වන්නේ එළෙසිනි. එපමණක්ද නොව 1952 අපේ‍්‍රල් මාසයේදී සුප‍්‍රසිද්ධ රබර් - සහල් ගිවිසුමට ලංකාව සහ චීනය අත්සන් කළේය. චීනය සමාජවාදී නොවන රටක් සමඟ අත්සන් කළ පළමු ගිවිසුමද එයයි. ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදිත රබර් චීනයට යැවුණු අතර එහි වටිනාකමට සරිලන සහල් චීනයෙන් අපට ලැබුණි. 1957 පෙබරවාරි 7 වනදා එවකට අගමැති එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා චීනය සමඟ සම්පූර්ණ වශයෙන් රාජතාන්ති‍්‍රක සබඳතා පවත්වාගෙන යෑමට ගිවිසුම් අත්සන් කළේය. එය දේශපාලන, ආර්ථික, වෙළද සහ සංස්කෘතිකමය වශයෙන් පුළුල් පරාසයක් දක්වා දිවෙන ගිවිසුමකි. එම ගිවිසුම නිසා බොහෝ වාසි ලංකාවට ලැබුණි. ලෝකයේ සියළුම ධනවාදී රටවල් චීනය අත්හැර යද්දී චීනය අත් නොහැර සිටි එකම මිත‍්‍රයයා ශී‍්‍ර ලංකාවයි. එහි කෘත ගුණ අදටත් චීනය අප රට වෙත පිරි නමයි. එපමණක්ද නොව මහජන චීනය මෙම ඉතිහාසගත කතාව පරපුරෙන් පුරපුරටද රැගෙන යයි. තම රට මුහුණ පෑ අසීරුම මොහොතේ ශී‍්‍ර ලංකාව දැක් වූ සහයෝගය ඔවුන් සිය අධ්‍යාපන පෙළ පොත් වලට එක් කර අනාගත පරම්පරාවන්ට උගන්වයි. මේ හේතුව නිසාම චීනයේ ඈත ගම්මානයක කුඩා දරුවෙක් පවා ශී‍්‍ර ලංකාව ගැනත් එහි වටිනාකම ගැනත් දනිත්. 


ආණ්ඩුවේ කිසිවෙකුට ආදර්ශ ගැනීමට තැනක් නැත


    එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ව වත්මන් ආණ්ඩුව සැකැසී ඇත. ලෝකයටම මෙය අලූත් අත් දැකීමකි. ආණ්ඩුවේ කිසිවෙකුට ආදර්ශ ගැනීමට ලෝකයේ අන් තැනක් නැත. රට කරවන වත්මන් නායකයන් තමාටම තමා ආදර්ශයට ගැනීමටත් සාමූහිකත්වයකට සවන් දීමටත් සිදුව තිබේ. එහෙයින්ම නායකයින් දෙපලම මුහුණ දෙන්නේ සංකීර්ණතා ගොන්නකටය. මෙම තත්වය ශී‍්‍ර ලංකාව සහ ජාත්‍යන්තර සබඳතා අතර තිබෙන පරස්පරතා කළමණාකරණය කිරීම විටෙක පහසු කරයි. තවත් විටෙක අසීරු කාර්යයක් බවට පත් කරයි. එහෙත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පැවැරී ඇති වගකීමද වන්නේ මෙම අසීරුතා කළමණා කරගැනීමයි. තීන්ත තිබෙන්නේ නම් රූප ඇදිය හැකි චිත‍්‍ර ශිල්පීන් බොහෝ පිරිසක් සිටිති. නමුත් නිවැරදිව වර්ණ සංයෝජනය කිරීම රූප ඇදිය හැකි හැම සිතුවම් කරුවෙකුටම කළ නොහැකිය. ජනාධිපති තුමනි, ඔබ රූප නොඇන්දාට කමක් නැත. නිවැරදි වර්ණ සකසා දෙන්න. අන් ශිල්පීන් රූප අඳිනු ඇත. නොඑසේනම් විකාර රූප වලින් ලංකාව වැසී යනු ඇත.

යටත් විජිත තත්වයේ ඇති සමාජයක් නිදහස් සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය අපට ඇත - එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වරයායි. එතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අන්‍යන්‍යතා සලකුණද වේ. එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතූ ප‍්‍රථම ලංකා අගමැතිවරයා වන්නේද එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතායි. එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඉදිරියේ එතුමා කළ පළමු කථාවෙන්ම ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ දැක්මත්  රට සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියත් ලෝක වාසීන්ට මැනවින් ඉදිරිපත් කළේය. අදින් වසර 60කට ඉහතදී ගෙන හැර පෑ       එතුමාගේ දැක්ම එදා මෙන්ම අදට ද වටින්නේය.

පහත සටහන් වන්නේ 1956 නොවැම්බර් 22 වෙනිදා එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී එතුමා කළ කථාවෙන් උපුටා ගත් කොටසකි.


Tuesday, August 25, 2015

ජවිපෙ ඉන්නෙ කෘතිම ආකාරයට රතු වෙච්ච මිනිස්සු


ජනතා සේවක පක්ෂයේ පුවත් පත් සාකච්ඡාවක් 24 වන සඳුදා සවස 2ට මරදාන සීඑස්ආර් ආයතනයේදී පැවැත්විණි. පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ සහ මධ්‍යම කාරක සභිකයින් වන ජයන්ත විජේසිංහ, ෆෝසියා හසන් සහ ඉන්දික පෙරේරා යන මහත්ම මහත්මීන් ඊට සහභාගී විය. එම අවස්ථාවේදී සෝමවංශ අමරසිංහ මහතා දැක්වූ අදහස් පහත සටහන් වේ.

මැතිවරණ ප‍්‍රතිඵල කලූ සල්ලි විසින් තීරණය කරන තත්වයට පත් වෙලා.

ජනවාරී මාසේ අපේ රටේ ජනතාවට ලැබිච්ච අස්වැසිල්ලක් තියෙනවානම් ඒ අස්වැසිල්ල මේ මහ මැතිවරණයේදීත් දකින්න පුළුවන්. ඉතාම අඩුවෙන් ජනතාවට කරදර වෙච්ච මහ මැතිවරණයක්. තවමත් සීයට සීයක් නැති වුණත් බොහෝ දුරට නිදහස් හා සාධාරණ මැතිවරණයක් බව ජනතා සේවක පක්ෂය පිළි ගන්නවා. ඒ පිළිබඳව පළමු කොටම මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාටත් මැතිවරණ කොමසාරිස්තුමාටත් ස්තූතිය පළ කරනවා.

විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා. මහ පක්ෂ ලෙස හිතන ඒවා කලූ සල්ලි මැතිවරණයේදී බරපතල ආකාරයට පාවිච්චි කළා. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඩු වීමත් සමඟම අනිත් පැත්තෙන් ඒක වැඩි වෙලා තියෙනවා. මැතිවරණ ප‍්‍රතිඵල කලූ සල්ලි විසින් සල්ලි තීරණය කරන තත්වයට ගිහිල්ලා තියෙනවා. අපි තාම දැක්කේ නැහැ මේකට විසඳුමක් ගැන කතා කරනවා. එය වැලැක්කුවේ නැත්නම් කවදාවත් මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ වෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් ගත්තොත් මේ මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවෙයි. 

ආණ්ඩුවක් හදන මැතිවරණයකදීත් ලක්ෂ 32ක් ඡන්දය පාවිච්චි  නොකළේ ඇයි?

මහ මැතිවරණයෙන් දේශපාලන පක්ෂ ගත්ත ප‍්‍රතිඵලය ගැන සලකා බැලූවොත් එකම පක්ෂයක්වත් දිනලා නැහැ. ජනතාව විසින් දිනවලා නැහැ. ඡන්ද දායකයන් අතරින් ලක්ෂ 32ක් ඡන්දය පාවිච්චි කරේ නැහැ. ඡන්දයට සහභාගී වුණේ නැහැ. තවත් ලක්ෂ 5කගේ ඡන්ද අවලංගු වුණා. මේවා තරමක් බරපතල කාරණා. හේතුව මහ මැතිවරණයක් නිසා. මහ මැතිවරණයක් කියන්නේ ආණ්ඩුවක් හදන ඡන්දයක්. ආණ්ඩු හදන මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමෙන් ජනතාව ඈත් වෙන්නේ ඇයි?

වාමාංශික ව්‍යාපාරයෙ අවසානය සනිටුහන් කර තිබෙන මැතිවරණයක්

සියලූම පක්ෂ පරාජය වෙලා තියෙන අතරේ වාමාංශික ව්‍යාපාරය ගැන සළකා බැලූවොත් පැරැණි සහ භාගෙට පැරණි (ජනතා විමුක්ති පෙරමුණ භාගෙට පැරණිනේ) වාමාංශික ව්‍යාපාරය බරපතල ලෙස පරාද වෙලා තියෙනවා. ඒ වාමාංශික ව්‍යාපාරය අවසානය සනිටුහන් කරලා තියෙනවා. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයවත්, සම සමාජ පක්ෂයවත්, නව සම සමාජ පක්ෂයවත් අනාගතයේදී කිසි දිනෙක තනි පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්නේ නැහැ. ඒක හොඳයි. වාමාංශික ව්‍යාපාරය නැවැත ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒක බරපතල අභියෝගයක්. ඒ වගේම ඒ සඳහා අවස්ථාවන් පැන නැගිලා තියෙනවා.

මැතිවරණයෙන් නරකම පරාජය ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ

විශේෂයෙන් සඳහන් කරන්න  ඕනෙ ජනතා විමුක්ති පෙරමුණේ පරාජය ගැන. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මහ මැතිවරණයේදී වඩාත්ම නරකම පරාජය ලබපු පක්ෂය. අපට ඇහෙනවා කතාවක් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්. වෙනදා වගේම සීයට ගණන් හදනවා. සීයට මෙච්චරකින් වැඩි වුණා... තුන, හය වුණා. ඡන්දත් වැඩි වෙලා තියෙනවා. පුදුමයක් නෑ. අපි අහන්නේ මෙයයි. ලංකාවෙම ඡන්ද වැඩි වෙලා තියෙනවා. දහ අටේ ඡන්ද වැඩි වෙලා තියෙනවා. දහ අටේ ඡන්ද ලැබුණද ජනතා විමුක්ති පෙරමුණට. ලැබුණනම් කෝ ප‍්‍රතිඵල?
ඊළඟට කරපු වියදම. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලේ හිටපු කෙනෙක් විදිහට මම දන්නවා වෙනදා මහ මැතිවරණයක් කරන්න වාහන දෙකක් තුනක් විකුණන්නම  ඕනෙ. ඊට පස්සේ දිනන අයගේ වාහන මිලදී ගන්නකම් ඉන්න වෙනවා. එහෙම පක්ෂය මේ වාරයේ විශේෂයෙන් වියදම් වුණේ කොහොමද කියන එක ප‍්‍රශ්නයක්. ප‍්‍රශ්නයට උත්තර දෙන්න  ඕනෙ ජනතා විමුක්ති පෙරමුණ. උත්තර දෙන්නෙ නෑ. උත්තර දුන්නෙ නෑ. කොහෙන්ද මේ සල්ලි ආවේ. කවුද මේ සල්ලි දුන්නේ? මොකද මේක ජනතාවගේ පක්ෂය. එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නෙවෙයි. ඒ පක්ෂ වලට සල්ලි දෙන්න මිනිස්සු ඉන්නවා.

වයස අවුරුදු පනහ වෙද්දී ජවිපෙ අවසානය සනිටුහන් වෙලා.

එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ රතු හෝදලා දාලා තියෙනවා. කෘතිම ආකාරයට රතු වෙච්ච මිනිස්සු තමයි  ඕකෙ ඉන්නේ. ඒ නිසා සායම් හෝදන්න පුළුවන්. කතා කළේ 2015 ලොකුම විපක්ෂය වෙන්න. ඊලඟට කිව්වා 2020 බලය ගන්න පක්ෂය කියලා. අඩු වශයෙන් තමන් ඉන්න තැන, තමන්ගේ තත්වය තක්සේරු කරගන්න පුළුවන් වෙන්න  ඕනෙ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට. එහෙම නිවැරදි තක්සේරුවක් කරලා නැහැ. ඒක නිසා තමයි ඔය වගේ ජනතාව සහ තමන්ගේ සාමාජිකයා නොමග යවන, අන්දවන, රවටන ඉලක්ක ගැන කතා කරන්නේ. ඒ නිසාම අද ලොකු අර්බුදයක ජනතා විමුක්ති පෙරමුණ තියෙන්නේ.  වාමාංශික ව්‍යාපාරයේ අවසානය සනිටුහන් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්කම තමයි.  වයස අවුරුදු පනහ වෙච්ච තැනදී ජවිපෙ අවසානය සටහන් වෙනවා.

අධිරාජ්‍යවාදීන්ට හොඳට අනුගත වෙන පක්ෂයක් බවට සීඝ‍්‍රයෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙලා.


කෝටි ගණන් කලූ සල්ලි වියදම් කරලා, කලූ සල්ලි මුදලාලිලාට යට වෙලා, එක්සත් ජාතික පක්ෂයට යට වෙලා, අධිරාජ්‍යවාදීන්ට හොඳට අනුගත වෙන පක්ෂයක් බවට පහුගිය අවුරුද්දෙ ඇතුලත ජනතා විමුක්ති පෙරමුණ සීඝ‍්‍රයෙන් වෙනස් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැදුනේ ගොඩනැගුනේ අපේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත වලින්, ලෙයින්, දහඩියෙන්, ශ‍්‍රමයෙන්, ධනයෙන්, කාලයෙන්. මෙන්න මේ සියල්ල තමයි බිලි දීලා තියෙන්නේ අධිරාජ්‍යවාදයට සහ අධිරාජ්‍යවාදීන්ගේ ඉතාම විශ්වාස දායක නියෝජිතයා වෙච්ච එක්සත් ජාතික පක්ෂයට. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට හෘදයක් තියෙනවානම් දැන් ඉල්ලා අස් වෙන්න  ඕනෙ. ඉල්ලා අස්වෙලා පක්ෂය සාමාජිකත්වයට භාර දෙන්න  ඕනෙ අලූත් නායකත්වය තෝරා ගන්න. එහෙම කළොත් ජනතා විමුක්ති පෙරමුණ අමාරුවෙන් හෝ නැවැත ගොඩනගන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් වාමාංශික ව්‍යපාරයේ අවසානයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ අවසානයත් සනිටුහන් වෙනවා. 

Sunday, August 23, 2015

කාන්තියක් නැති වුනත් ලාල්ගෙන් පෙනෙන්නේ 'වමේ' අවුලයි


මහ මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව වැඩියෙන්ම වික්ෂිප්ත භාවයට පත් වී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. අගෝස්තු 18 වැනිදා පාන්දර දෙක වන විටත් මන්තී‍්‍රධූර 15ක බලාපොරොත්තු ඔවුන් සතු විය. ජවිපෙ නායකයෝ 18 වනදා සවස දෙකට පුවත්පත් සාකච්ඡාවක්ද කැදවා තිබුණේ වේලාසනින් සුබ පණිවිඩය දැනුම් දීමටය. මාධ්‍යෙව්දීන්ට ඒ බව 17 වැනිදා උදෑසනම දැනුම් දුනි. තමන්ගේ ජයග‍්‍රහණය පිළිබදව එතරම් විශ්වාසයක් නායකයන්ට තිබුණි. නමුත් එදින පාන්දර හතර වන විට ඒ සියළු බලාපොරොත්තු සුන් වී තිබුණි. ජවිපෙට ලංකාවෙන්ම මන්තී‍්‍රධූර 4ක් හිමිව ඇති බව නායකයෝ දැන ගත්හ. එම ගණන රට දැන ගත්තේ  දහ අටවනදා සවස් වරුවේය. ජාතික ලයිස්තුවේ මන්තී‍්‍රධූර දෙකත් සමග ජවිපෙට මන්තී‍්‍රධූර හයක් හිමිව තිබේ. ඉතා අසීරුවෙන් කැදවා තිබූ පුවත්පත් සාකච්ඡාව ජවිපෙ නායකයෝ පැවැත් වූහ. නායකයන්ගේ හෘද සාක්ෂියේ අදුරු බව ඡායාරූපවල සටහන්ව තිබුණි.

ජවිපෙට මොකද වුණේ? මේ පැනය ජවිපෙ ගැන හරියට නොදත් ජනතාවට සහ පක්ෂ සාමාජිකයන්ට පැන නැගී තිබෙන බව නිසැකය. නමුත් ජවිපෙ ගැන නිවැරදි තක්සේරුවක ඉන්නා අය මෙම ප‍්‍රතිඵලය දැන සිටියේය. මේ සදහා එක උදාහරණයක් පමණක් මම ඔබට ඉදිරපත් කරමි. පසුගිය ජූලි 20 වනද සවස හයට පමණ සීඑස්එන් රූපවාහිනී නාලිකා කාර්යාලයේදී එහි අධ්‍යක්ෂ කුල ශී‍්‍ර කාරියවසම්, සෝමවංශ අමරසිංහ, ලේඛකයා සහ තවත් කීප දෙනෙක් අතර තේ මේසයේ සාකච්ඡාවක් ඇති වුණි. ඒ ‘ඇත්ත’ වැඩ සටහනේ පටිගත කිරීමකින් අනතුරුවය. මාතෘකාව මැතිවරණයයි. සාකච්ඡාව අතරතුර කුල ශී‍්‍ර ගෙන් පැනයක් යොමු විය. ජවිපෙ මේ පාර කීයක් ගනීද? ඔහු අපෙන් විමසුවේය. ලේඛකයාගේ තක්සේරුව වූයේ හයකි. කුල ශී‍්‍ර ගේ තක්සේරුව වූයේ පහකි.

2005දී මන්තී‍්‍ර ආසන 41ක් දිනා ගත් ජවිපෙ මෙවර පාර්ලිමේන්තු ආසන 6ක් දක්වා පල්ලම් බැස ඇත. 2005දී පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන වශයෙන් මුළු මන්තී‍්‍ර ආසන 507ක් ජවිපෙ සතු විය. 2014 අවසන් වන විට එම ගණන 87ක් දක්වා කඩා වැටී තිබුණි. 2016 වන විට එම සංඛ්‍යාව පනහටත් අඩු ගණනක් වනු ඇත.

ජවිපෙ අවරට යමින් තිබේ

අවුරුදු පනහක් අවසානයේ ජවිපෙ අවරට යමින් තිබෙන බව පැහැදිලිය. පක්ෂයක් යනු ජීවියෙකි. එය වැඩෙයි. බිද වැටෙයි. අවසන මැරී යනු ද ඇත. ජවිපෙ මරනයේ ගමන් මගට අවතීර්ණ වී ඇති බව පැහැදිලිය. එය දැන් නාගරික ලිබරල් පක්ෂයක් බවට පරිණාමනය වෙමින් තිබේ. මෙවර මැතිවරණයෙන් ජවිපෙට ආසන තුනක්ම හිමි වූයේ බස්නාහිර පළාතෙනි. ඒ කොළඹ,ගම්පහ සහ කලුතරින් එක් මන්තී‍්‍ර ආසනයක් බැගිනි. ජවිපෙ ගැමි පදනම දරුණු ලෙස සෝදා පාලුවට ලක්ව ඇත. එසේ වූයේ ජවිපෙ නායකයන්ගේම වරදින් මිස ජනතාවගේ වරදින් නොවේ.ජවිපෙ නායකයෝ යන්නේ කොහෙද කියා ජනතාවට වසන් කළ නොහැකිය. 

ජවිපෙ, මැතිවරණ ඉතිහාසයේ වැඩිම මුදලක් වියදම් කළ මැතිවරණය නිමා වූ මහ මැතිවරණයයි. එහි ප‍්‍රචාරක වියදම් පමණක් කෝටි 60 ඉක්මවනවා මිස ඊට අඩු නොවේ. ඉන් අවසානයේ ලැබූ දරුණු පරාජිත ප‍්‍රතිඵලයෙන් කියනුයේ ජවිපෙ නායකයන්ගේ ‘හෘද සාක්ෂිය’ ජනතාව හදුනාගෙන ඇති බවයි.



මන්තී‍්‍රධූරයෙන් ඉවත් වූයේ වෘත්තීය සමිතිවල වැඩ කරන්න - ලාල් කාන්ත

ජවිපෙ පරාජිකා වී තිබෙන තත්වය තව දුරටත් මැන ගැනීමට මැතිවරණයෙන් පසු එහි නායකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්න. අගොස්තු 19 වනදා ජාතික ලයිස්තුවට සරත් වන්ද‍්‍රසිරි මායාදුන්නේ මහතා සහ මාතරින් පැරදුණු සුනිල් හදුන්නෙත්ති නම් කළහ. අගෝස්තු 20 වනදා සවස 1.30ට දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රධූරයෙන් ඉවත් වෙන බව නිවේදනය කළේය. ඔහුගේ ඉවත් වීම ගැන කරන පැහැදිලි කිරීම ජවිපෙ නායකයන්ගේ මාක්ස්වාදී දැනුම පරීක්ෂණයට ලක් කරයි. පළාත් සභා මන්තී‍්‍රධුරය වෘත්තිය සමිතිවල වැඩ කරන්න බාධාවක්ලු. එහෙම නම් පාර්ලිමේන්තුවට ඉල්ලුවේ මිනිසුන් රැවැට්ටීමටද? නායක අනුර කුමාරට, ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ට, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක කලුතර මන්තී‍්‍ර නලින්දට එවැනි බාධාවන් නැද්ද? නොමැතිනම් ලාල් කාන්තට වැඩ දෙක තුනක් එකවර සංවිධානය කිරීමේ හැකියාව නැතිද? මේ කිසිවක් සත්‍යය නොවේ. ලාල් කාන්ත පෙන්නුම් කළේ පක්ෂය අැතුලේ තිබෙන ගැටුමයි.

කි‍්‍රෂ්මාල් හෘද සාක්ෂිය අවධි කරයි


අගෝස්තු 20 වනදා රාති‍්‍ර 6.30 දෙරණ රූපවාහිනී නාලිකාවෙන් ජාතික ලයිස්තු මන්තී‍්‍රධූර අපේක්ෂක අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය කතා කළේය. ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා බොරු කියන බවත්, තමන්ට හිමි මන්තී‍්‍රධූරය සුනිල් හදුන්නෙත්තිට ලබා දීම ගැන කිසිම විමසීමක් තමාගෙන් නොකළ බවත් ඔහු කීවේය. එදා රාති‍්‍රයේම කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මේ පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් සිය ෆේස්බුක් පිටුවේ ලියුවේය. මැතිවරණයේදී  උඩ දම දමා ජවිපෙ කියා සිටියේ ‘‘හොදම  ජාතික ලයිස්තුව අප සතු’’ බවයි. ජවිපෙ මැද පංතියේ ප‍්‍රසංශාවට ලක්ව ඇති බවයි. දැන් කි‍්‍රෂ්මාල්ගේ හෘද සාක්ෂිය අවධි කිරීමත් සමග ජවිපෙ නායකයන් ඉන්නේ අසූචි හත් පොලේ ගා ගෙනය. 

අගෝස්තු 21 වනදා ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා කි‍්‍රෂ්මාල් වර්ණසූරියට පිළිතුරු බැන්දේය. සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේනතුවට නම් කළේ ජනතාවගේ ඉල්ලීම මත බව ඔහු කියා සිටියේය.  මාතරින්  තමන්ට මන්තී‍්‍රධුරයක් නොලැබුණේ ඡන්ද 1500ක් අඩු වීමෙන් බවත් කුරුණෑගලින් ඡන්ද 700ක් අඩු වීමෙන් මන්තී‍්‍රධුරයක් නොලැබුණු බවත් කීවේය.වැඩි දුරටත් ඔහු කියා සිටියේ මෙම ප‍්‍රමාණයෙන් ඡන්ද අඩු වීම පරාජයක් ලෙස තමන් සළකන්නේ නැති බවත්ය. ජය පරාජය තීරණය වන්නේ එක් ඡන්දයකින් බව ලෝකයම දනිතත් ටිල්වින් සිල්වා නොදන්නා බව විශ්වාස කළ හැකිද? නොහැකිය. කි‍්‍රෂ්මාල්ට වර්ණසූරියට පිළිතුරු බැදීමට ගොස් ටිල්වින් සිල්වා ලේකම් කමේ ගරුත්වයත් කෙලෙසා ගෙනය.

ජවිපෙට නිවැරදි සහ පැහැදිලි උපක‍්‍රමයන් අද නැති බව මේ හැම කරුණක්ම සාක්ෂි දරයි. ‘ගෙදර යන ගමන් ’ එදා වේල පිරිමහ ගන්නා දේශපාලනයක ඔවුන් නිරත වන බව පැහැදිලිය.

එක් කි‍්‍රයාමාර්ගයක් හෝ උපක‍්‍රමයක් වැරදුණු පසු ගෙවීමට සිදුවන වන්දිය දරුණුය. ජවිපෙ අද අත් විදින්නේ  උපක‍්‍රමික වරද්දා ගැනීම්වල දරුණු වන්දි ගෙවීම්ය.

Saturday, August 22, 2015

ටිල්වින් බොරු කාරයෙක්


ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා බොරු කාරයෙක් බව කි‍්‍රෂ්මාල් වර්ණසූරිය පවසයි. කි‍්‍රෂ්මාල් වර්ණසූරිය ජවිපෙ ජාතික ලයිස්තු මන්තී‍්‍රධූර නාම ලේඛනයේ දෙවැනි ස්ථානයේ පසු විය. ඒ අනුව ඔහුට  හිමි වීමට තිබූ  මන්තී‍්‍රධූරය සුනිල් හදුන්නෙත්තිට ලබා දී තිබෙන්නේ තමන් රවටා බව කි‍්‍රෂ්මාල් වර්ණසූරිය පවසයි.සුනිල් හදුන්නෙත්ති මාතරින් මැතිවරණයට තරග කර පරාජයට පත් විය. 

පහත ඵල වන්නේ කි‍්‍රෂ්මාල් වර්ණසූරියගේ සම්පූර්ණ ලිපියේ සිංහල පරිවර්තනයයි. 

මගේ සහෝදර ශ්‍රී ලාංකිකයිනි;

ඔබලාගෙන් බොහෝ දෙනෙකු දන්නා පරිදි මෑතකදී පැවැත්වූ මහ මැතිවරණය සඳහා වෘත්තිකයන් හා විද්වතුන් 29 දෙනෙකුගෙන් සමන්විත වූ ජවිපෙ ජාතික ලැයිස්තුව තුළ මගේ නම දෙවැනි ස්ථානයට (එම නම් අකාරාදී පිළිවෙළට ඇතුළත් කර නොතිබුණු අතර මා දන්නා පරිදි පක්ෂයට වෙන්වන මන්ත්‍රී  ධූර වලට පත් කරන අනුපිළිවෙල අනූව) එක් කර තිබුණු අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ආසන දෙකක් පක්ෂයට ලබාදී තිබිණ; මෙම මන්ත්‍රී ධූර දෙක මේ වන විට මගේ නමට පෙර ඇතුළත් කර තිබූ සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතාට හා මාතරට තරග කොට ආසනයක් දිනාගැනීමට අසමත් වූ සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දී ඇත.  පලමුව පක්ෂ ලේකම් විසින් තෝරාගන්නා ලද ඔවුන් දෙදෙනාට මගේ හෘදයංගම සුබ පැතුම් පුද කර සිටින්නෙමි. එමෙන්ම දැන් මොහොතකට පෙර, පක්ෂයේ මෙම තීරණය ජාතික ලැයිස්තුවේ සියළු දෙනා දැනුවත්ව අනුමත කළ බවට එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් කරන ලද ප්‍රකාශය නිවැරදි කිරීමටද මට ඉඩ දෙන්න. මෙම ප්‍රකාශය අසත්‍ය හා වැරදි ප්‍රකාශයක් බව මා පළමුව පවසා සිටින අතර මා විසින් මේ සඳහා කිසිදු කැමැත්තක් ප්‍රකාශ කොට නොමැති බවත් පහත මා දක්වා ඇති හේතු මත පදනම්ව පක්ෂයේ මෙම තීරණයට විරුද්ධ වූ බවත් දන්වා සිටිමි.

මෙම ප්‍රකාශය ඔබලා සියළු දෙනාට පොදුවේ ආමන්ත්‍රණය කරන්නක් වන අතරම මෙම මැතිවරණ ව්‍යාපාරය මුළුල්ලේ මාධ්‍ය හෝ මහජන රැළි ඔස්සේ මා විසින් සිදු කළ තහවුරුකිරීම් සාවධානව අසා සිට හා ඒ මත සිට තම උත්තරීතර ඡන්ද බලය භාවිතා කර තම කැමැත්ත ලබාදුන් මාගේ මිතුරන්ට, ඥාතීන්ට, ඔවුන්ගේ රැකියා ස්ථානවල “සම්බන්ධතාවයන්ට” මෙය විශේෂයෙන් යොමු කිරීමට කැමැත්තෙමි; ඔබලාගෙන් මා අසීමිත හා ඒකායන වශයෙන් සමාව අයැද සිටිමි!   ඔබලාගේ දුරකථන ඇමතුම්වලට හා පණිවුඩ යනාදියට පිළිතුරු දීමට නොහැකිවීම පිළිබදව සමාව ඉල්ලා සිටින අතර මේ ප්‍රකාශය දෙස ඉවසිලිමත්ව අවධානය යොමු කොට මා විසින් එම අවස්ථාවේදී සියළු ප්‍රකාශයන් සිදු කරන ලද්දේ එකල්හි ඔවුන් සත්‍ය  හා නිවැරදි බවට මා තුළ වූ අව්‍යාජ විශ්වාසය නිසා බැවින් ඒ කෙරෙහි සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටිමි.

සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වීමට මා හට කිසිදු අදහසක් නොතිබුණු අතර මම මගේ ජීවිතය පිළිබඳව සෑහීමකට පත්ව සිටියෙමි; කෙසේ වෙතත් 2007 වසරේ මා නැවත දිවයිනට පැමිණි පසු එකල තිබූ සමාජ දේශපාලනික අවශ්‍යතාවයන් හමුවේ යහ පාලනය සහ නීතියේ ආධිපත්‍යය ලබාගැනීම උදෙසා දේශපාලන පක්ෂ කිහිපයක් හා ක්‍රියාකාරීන් සමග කටයුතු කිරීමට බල කෙරිණි. මෙම පොදු මහජන උද්ඝෝෂණවලට ජවිපෙ සමග මගේ වූ සහභාගීත්වය, පසුගිය වසරේ අගභාගයේදී ජනාධිපති රාජපක්ෂ තෙවන වරට තරග කිරීමට දැරූ උත්සහය හමුවේදී හුදු ඍජු වෘත්තීය මැදිහත්වීමකට එහා සම්බන්ධතාවයක් බවට පත් විය.  ජවිපෙ විසින් මෙම ජනාධිපතිත්වයට අභියෝග කිරීමේ කාර්ය ය සමග මා වෘත්තීයම ලෙස සම්බන්ධ කළ මොහොතේ මහජන උද්ඝෝෂණ කිහිපයකම දේශපාලන වේදිකාවට නැගීමටද මා වෙතින් ඉල්ලීම් කරන ලදී. මෙම පක්ෂය සමග මා සමීප වූයේ එම අවස්ථාවේදීය. එතෙක් මා හට දේශපාලනය සමග කිසිදු ඍජු සම්බන්ධතාවයක් නොතිබිණි. තීරණයක් ගත් පසු විශ්වාසයන් වෙනස් කරමින් ඉදිරියට යාම මගේ පුරුද්ද නොවන බැවින් මෙම පියවර මා ගත යුතු නම් මා මගේ දේශපාලන ගමන යා යුත්තේ ඔවුන් සමග පමණමය. පක්ෂයේ ප්‍රතිචාරය වූයේද ඔවුන් මාගේ දායකත්වය නිරීක්ෂණ කරමින් සිටි බවත් මා කැමැත්ත පල කරන්නේ නම් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම් කරන බවත් ය. ඉන්පසු මෙම ව්‍යාපාරයට ආකර්ෂණය වූ මහා ජනකාය සමග අප රටේ ජනතාව 2015 ජනවාරි 8 වන දින එම ඓතිහාසික ජයග්‍රහණය ළඟා කරගත් අතර එම ඓතිහාසික තත්වයේ කිසියම් සුළු වූ හෝ දායකත්වයකට මා සම්බන්ධ වූවා නම් මම ඒ පිළිබඳව කෘතඥපූර්වක වෙමි.

ඉන්පසු ජවිපෙ සමග කිසිදු “දේශපාලන” සාකච්ඡාවක් නොවූ නමුත් මෙම කරුණ පිළිබඳව මගේ ප්‍රතිචාරය මැනීමටදෝ අනෙක් දේශපාලන පක්ෂ පොදුවේ මේ පිළිබඳව සාකච්ඡා කරන ලදී; එහෙත් ඒ කිසිවෙකුට හෝ ස්ථිර අදහසක් මම ප්‍රකාශ නොකළෙමි. මහ මැතිවරණයේ නාම යෝජනා භාර දීමේ අවසන් දිනයට සති එක හමාරකට පමණ පෙර මගේ කාර්යාකලයේදී මා හමු වූ ජවිපෙ, ඔවුන්ගේ ජාතික ලැයිස්තුවෙන් තරග කිරීම පිළිබඳව ඔවුන්ගේ ආරාධනාව නැවත වරක් ඉදිරිපත් කර සිටියේය.  එවිට, ඔවුන්ගේ ජාතික ලැයිස්තුවේ මා ස්ථානගත කරන්නේ කොතැනකද යන්න පිළිබඳව මා ඇසූ බව මාහට නිශ්චිතවම සිහි කළ හැකි අතර මා එම ව්‍යාපාරයට සක්‍රියව සහභාගී වීමට තීරණයකළේ මගේ නම එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ තිබෙනු දුටු පසුවය. මම පක්ෂ ප්‍රතිපත්තීන් විස්තරාත්මකව අධ්‍යනය කළ අතර පක්ෂය පිළිබඳව ලියැවුණු දේ පිළිබදව යාවත්කාලීන දැනුමක් ලබාගත් පසුව මහජන රැළි කිහිපයක් ඇමතූයෙමි. රූපවාහිනිය හා අනෙක් සමාජ මාධ්‍ය කටයුතුවලට දායක වූයෙමි; ඒ සෑම අවස්ථාවකදීම ජවිපෙ හා එහි “හෘදය සාක්ෂියේ සම්මුතිය” ආරක්ෂා කරමින් හා එය ප්‍රවර්ධනය කරමින් කටයුතු කළෙමි. අපගේ ව්‍යාපාරයේ ප්‍රධානම මාතෘකාවක් වූයේ අපගේ ජාතික ලැයිස්තුවේ සංයුතිය වූ අතර අවම වශයෙන් රූපවාහිනි සාකච්ඡා තුනකදී මා ජවිපෙ ජාතික ලැයිස්තුව අගයමින් හා පරාජය වූ අපේක්ෂකයන් යොදන අනෙක් පක්ෂවල ජාතික ලැයිස්තු  විවේචනය කරමින් කථා කළ අයුරු මෙනෙහි කිරීමට කැමැත්තෙමි; මෙම මැතිවරණයේදී අප ජනතාව ඉදිරියේ තැබූ මූලිකම සහතිකයක් වූයේ සාමාන්‍ය  “තරගකාරී දේශපාලනයේ” නියැලෙන්නේ නොමැති එසේ වුවත් නීති සම්පාදනයේ ලා වටිනා දායකත්වයක් සිදු කරන, පක්ෂයට පිටස්තර විද්වතුන් හා වෘත්තිකයන් ඇතුළත් කරමින් ජාතික ලැයිස්තුව සකස් කර ඇති බවයි.  මා මෙම ප්‍රතිපත්තිය වෙනුවෙන් කථා කළේ මෙය පක්ෂයේ ප්‍රතිපත්තිය බව අවංකව විශ්වාස කළ නිසා මෙන්ම ජවිපෙ එවන් විනයක් තුළ රැඳී සිටීමට තරම් ප්‍රතිපත්තිගරුක බව විශ්වාස කළ හෙයිනි.

තෝරා පත්කරගත් මන්ත්‍රීවරුන් සිවුදෙනා හා ජාතික ලැයිස්තුවේ ධූර දෙකද  සහිතව මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විජිත හේරත් මහතා වෙතින් මා හට දුරකථන පණිවුඩයක් ලැබුණු අතර ඉන් විමසා සිටියේ අගෝස්තු 19වනදා සවස හමුවීමට හැකිදැයි යන්නය. වේලාව වෙන් කරගැනීමෙන් පසු මාගේ කාර්යාලයේදී අප හමු වූ අතර අප අපේක්ෂා කළාට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන් තේරී පත්වීම පිළිබදව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. එහිදී කේ.ඩී. ලාල් කාන්ත, බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ හා නලින් හේවගේ යනාදීන්ද ව්‍යවස්ථාදායකය තුළ සිටීමට ඒ හා සමානවම සුදුසුකම් ලත් බව මා ප්‍රකාශ කළ බව මම මෙනෙහි කරන්නෙමි. ඔවුන් නොතේරුණේ කිමදැයි හා අපේක්ෂාවන් වෙත යාමට පක්ෂය අසමත් වූයේ මන්ද යන්න ප්‍රමුඛම කාරණයක් ලෙස සාකච්ඡා කළ යුත්තකි.

මෙම අවස්ථාවේදී හේරත් මහතා මට පවසා සිටියේ හඳුන්නෙත්ති මහතා වෙනුවෙන් ජාතික ලැයිස්තුවේ තම ස්ථානය ලබා දීමට මායාදුන්නේ මහතා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ බවයි. ඉන්පසු ඔහු විමසා සිටියේ බිමල් රත්නායක මහතා වෙනුවෙන් මටද එසේ කළ හැකිද යන්නයි. මෙයට මා  නියත හා ඒකායන වශයෙන් පවසා සිටියේ එසේ කටයුතු කිරීමෙන් අප අපගේ ජාතික ලැයිස්තුව වෙනුවෙන් කථා කළ ආකාරය ව්‍යාජයක් වන බව හා මහජනයාට ලබාදුන් සහතිකය බිඳී යන බවයි. එමෙන්ම මා ප්‍රකාශකළේ ජාතික ලැයිස්තුව පිළිබඳව අපගේ ආස්ථානය වෙනස් කිරීම තුළින් මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් 2020දී රජයක් පිහිටුවීම සම්බන්ධව අප දැඩිව සිතන්නේ නම් එසේ කටයුතු කිරීම යුතු නොවන බවත් ය. එම අදහස සහිතව අපි අපගේ හමුව හමාර කළෙමු. ඉන්පසු හේරත් මහතාගෙන් මා පණිවුඩයක් ලැබූයේ අද දින උදයේය. ඔහුගේ දුරකථන පණිවුඩයේ සටහන්ව තිබුණේ මෙම කරුණ පිළිබඳව පක්ෂය සාකච්ඡා කළ බවත් එහිදී හඳුන්නෙත්ති මහතාව පාර්ලිමේන්තුවට යෝජනා වූ බවත්ය. මායාදුන්නේ මහතා එවන් එකගතාවයකට සූදානම් නම් ඒ පිළිබඳව මා කිසිවක් නොපවසන බවත්, මම කෙසේවුවත් එවන් එකගතාවයකට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවෙන බවත් මා සටහන් කර යැවූවෙමි. එවන් තත්වයක් යටතේදී ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතා, මා එවන් එකගතාවයකට පැමිණි බව ප්‍රකාශ කිරීමෙන් මම සහේතුක ලෙස වික්ෂිප්තභාවයට පත් වීමි; මම මෙය ඒකාන්ත වශයෙන් ප්‍රතික්ෂේප කරන අතරම මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය කළ සියළුම ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය විසින් මෙම ප්‍රවෘත්තිය නිවැරදි කිරීම සඳහා ප්‍රමාණවත්, සමාන ගුවන් කාලයක් හෝ ඉඩක් මාහට ලබා දෙනු ඇති බවට විශ්වාස කරන්නෙමි.

අවසන් වශයෙන්, මගේ ප්‍රකාශයන් මත විශ්වාසය තැබූ, අප වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හෝ මා විසින් ප්‍රචාරය කළ ප්‍රතිපත්තිය වෙනුවෙන් කථා කළ සියළු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින්නෙමි. මා සහතික කළ පරිද්දෙන් ව්‍යවස්ථාදායකය තුළ ඔබගේ හඬ නියෝජනය කිරීමට මා හට නොහැකි වී ඇති අතර මගේ පාලනයට ඔබ්බෙන් සිදුවූ එම තත්වය ඔබ හොඳින් තේරුම් ගනු ඇතැයි සිතමි. මගේ වචනය කෙරෙහි විශ්වාසය තැබූ සියළු දෙනාට මගේ ස්තූතිය පිරිනමමි. එමෙන්ම පක්ෂයට හා මැතිවරණ ව්‍යාපාරයට ඔබගේ නිවහන් විවෘත කර දෙමින් හා මා වෙනුවෙන් ද්‍රව්‍යමය ලෙස පක්ෂයට සහය ලබාදෙමින් නන් අයුරින් සහය දුන් සියළු දෙනාට ස්තූතිවන්ත වන්නෙමි; ද්‍රව්‍යමය ලෙස සහය ලබාදුන් සියළු දෙනාගේ නිවැරදි වාර්තා සියල්ල ඇති බව හා ඔබලාට අවශ්‍යනම් එය ඔබගේ අධීක්ෂණයට ලබාදිය හැකි බවද පවසා සිටින්නෙමි. එමෙන්ම මගේ පණිවුඩය ජනතාව වෙත ගෙන ගිය මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල සාමාජිකයන් කිහිප දෙනාටද ස්තූතිවන්ත වන අතර ඔවුන්ගෙන්ද පොදු මහජනයාගෙන්ද කාරුණිකව ඉල්ලා සිටින්නේ සමාජ සාධාරණත්වය ළඟා කරගැනීම පිළිබඳ විශ්වාසය කඩ කරනොගන්නා ලෙසයි- අපට යහපත් රටක් තැනිය හැකියි, දිනෙක අපි එය සිදු කරනෙමු.

මගේ නුදුරු අනාගතයේදී මා වෘත්තීයමය ලෙස නැවත අධිකරණයට පිවිසෙන අතර එහි මා දැනුවත් බවේ උණුසුමේ සරණ පතන්නෙමි, මගේ පවුලේ සාමය හා සෙනෙහස තුළට පිවිසෙන්නෙමි. ඔවුන්ද දේශපාලන ව්‍යාපාරයේ මඩ ගොහොරුව මතින් ගෙන යාම පිළිබඳව හා ඔවුන්ගෙන් උදුරාගත් කාලය පිළිබඳව ඔවුන්ගෙන්ද සමාව ඉල්ලා සිටිමි; එමෙන්ම මගේ සමීපතම මිතුරන්ගේ සරණ පතන්නෙමි, සමහර විටෙක මා අයත් නොමැතිවා විය හැකි “දේශපාලන ලෝකය” තුළින් ඔවුන් මා මුදවාගනු ඇත.

ජය!!!

Sunday, August 16, 2015

මෛතී‍්‍ර ආණ්ඩුවක්; අගමැති මහින්ද නොවේ



2015 මහ මැතිවරණයෙන් බිහිවෙනු ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකි. අගමැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් නම් කරනු ඇත. නව අගමැති මහින්ද රාජපක්ෂ නොවීමට තිබෙන ඉඩ ඉතා ඉහළය. මහින්ද රාජපක්ෂ අගමැති නොවීම නිසාම ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් කොටසක් අතෘප්තිමත් වීම නියතය. එසේ වුවත් ඔවුන් ‘‘මහින්ද අගමැති කරනු’’ යනුවෙන් ලියූ පුවරු ඔසවාගෙන මහ පාරට නම් පැමිණෙන්නේ නැත. අලූත් ආණ්ඩුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වීම, ජනාධිපති සහ අගමැති තම පක්ෂයෙන් නිසාමත්  පාක්ෂිකයන් එයින් තෘප්තිමත් වනු ඇත. සෑම පක්ෂ සාමාජිකයෙක්ම තම පක්ෂය බලයේ ඉන්නවා දැකීමට කැමැතිය. බලයේ ඉන්න තම පක්ෂයේ අගමැතිවරයාගේ හොඳ නරක පිළිබඳ මාස ගණනක් වාද විවාද කිරීමට ඔවුන්ට උවමනාවක් නැත. ඒ නිසා මහින්ද අගමැති නොවීමේ විවාදය සති කීපයකින් අවසන් වනු ඇත.