Saturday, August 1, 2015

කට අනුරගේ වුවත් දිව රනිල්ගෙද?


''නිෂ්පාදන ආර්ථිකය ගොඩනැංවීමට පෞද්ගලික අංශයට අපි ආරාධනා කරනවා'' - අනුර කුමාර දිසානායක


''කර්මාන්ත දියුණු කරන්න පුද්ගලික අංශයට අපි වැඩියෙන් පහසුකම් ලබා දෙනවා'' - රනිල් වික‍්‍රමසංහ











‘‘සමාජවාදය අත්හළ නිසා අපි ජවිපෙන් ඉවත් වුණා’’ යන පුවත අප පුවත්පත විසින් පළ කළේ පසුගිය දිනකදීය. එම පුවතට පදනම වූයේ සෝමවංශ අමරසිංහ මහතා කළ ප‍්‍රකාශයකි. ජනතා සේවක පක්ෂයේ පති‍්‍රකා බෙදීමක් අවසානයේ මාධ්‍ය ඇමැතූ ඔහු එම ප‍්‍රකාශය කරනු ලැබිණ. මෙහි ඇත්ත නැත්ත සොයා බලනු වටී.

ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අත්හළ බව අමරසිංහ මහතාට පහසුවෙන් කිව හැකිය. ඔහු පහු ගිය අපේ‍්‍රල් 16 වැනිදා දක්වාම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කළේය. ඒ තුළ අවුරුදු 46ක දේශපාලන අත්දැකීම් සම්භාරයක් ඔහු සතුය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගෙන් පසු ජවිපෙ ඉහළටම ඔසවා තැබීමට නායකත්වය දුන්නේ සෝමවංශ අමරසිංහයය. ඒ නිසාම ‘‘ගොනා හැරෙන කොටම පොල් පැලේ කන්න හදන’’ බව ඔහුට දැනේ.

නමුත් ඔහු දැන් ජවිපෙන් එළියට බැස අවසන්ය. වෙනත් පක්ෂයක් ගොඩනගමින් සිටි. ඒ නිසාම අමරසිංහ මහතා කියන දේම විශ්වාසයේ එකම සාධකය බවට පත් කර ගත නොහැකිය.

අනුර කුමාර සමාජවාදය අත්හැර ඇති බව අපි දැන ගන්නේ කෙසේද?

අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක, ප‍්‍රසිද්ධියේ කියන කතා කීපයක් නිරීක්ෂණය කර බලමු. මැතිවරණ වේදිකාවේ කතා නොවේ. මැතිවරණ වේදිකාවේ පවත්වන කතා පුළුල් බහු ජනතාවක් ඉදිරියේ පවත්වයි. පක්ෂයේ ඇත්තම අදහස එතන බොද වී ඇත. එම කතා මගින් දේශපාලන පක්ෂයක ගමන් මග ජනතාවට පැහැදිලිව දැන ගැනීමට පුළුවන් බව ලේඛකයා පිළිගනී. නමුත් පක්ෂ සාමාජිකයන් ඉදිරියේ පක්ෂයේ ගමන් මඟ ගැන ඔහු දක්වන අදහස් බොද නොවේ. එම නිසා අමරසිංහ මහතා ජවිපෙට එරෙහිව නගන චෝදනාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට එම අදහස් සළකා බැලීම වටී.

පසුගිය 22 වනදා ජවිපෙ මහ සමුළුව පවත්වනු ලැබීය. එහිදී රට හදන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්ද පක්ෂ සාමාජිකයන්ට බෙදා හරිනු ලැබීය. ප‍්‍රධාන දේශනය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින්ය. සිය පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පදනම මත පිහිටා  ඕනෑම දේශපාලන නායකයෙක් සිය අදහස් දක්වයි. නමුත් අනුර කුමාරගේ මුළු කතාව පුරාම සමාජවාදය ගැන එක වචනයක් සඳහන් කරන්නේ නැත. අධිරාජ්‍යවාදී කඩා පැනීම් ගැන එක වචනයක් සඳහන් කරන්නේ නැත. ඔහු සුපුරුදු පරිදි වංචා දූෂණ ගැන කතා කරයි.


  
වංචා දූෂණ ගැන එජාප නායක රනිල් වික‍්‍රමසිංහත්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනත් කතා කරයි. දැන් ඒ ගැන වැඩියෙන්ම කතා කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. අනිත් දේශපාලන නායකයන්ගේ මතෘකාවද එයයි. ධනපති දේශපාලන නායකයෝ වංචා දූෂණ ගැන කතා නොකර වෙන මොනවා කතා කරන්නද? ඔවුන්ගෙන් වංචා දූෂණ වලට වැට බදින සමාජවාදයක් ගැන කතා ඇසිය නොහැකිය.

සිය දේශනයේදී අනුර කුමාර දිසානායක මහතා එක් වැදගත් දෙයක් කියා සිටී. මේ ඔහුගේ හඬයි. ඇහුන්කන් දෙන්න. ‘‘ලෝක වෙළපොළේ පංගුවක් අත්පත් කරගැනීම සඳහා අපි අපේ රටේ පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. මේ ආර්ථික සැලැස්මේ ප‍්‍රධාන පංගුවක් ඔවුනට පැවරෙනවා’’

නිෂ්පාදන ආර්ථිකය ගොඩනැංවීමට අනුර කුමාර දිසානායක ප‍්‍රධාන පංගුව වෙන් කරන්නේ පෞද්ගලික අංශයටය. එම කතාවේ දේශපාලන උපක‍්‍රම සැග වී තිබෙන බව ජවිපෙ නායකයන්ට ප‍්‍රති තර්ක තිබෙන්නට පුළුවන.

ප‍්‍රශ්නය වන්නේ එය නොවේ. සමාජවාදය ගැන හෝ අධිරාජ්‍යවාදය ගැන හෝ වචනයක් කතා නොකර පුද්ගලික අංශය ගැන පමණක් අනුර කුමාර කතා කිරීමය. රනිල් වික‍්‍රමසංහ ‘‘නිෂ්පාදන ආර්ථිකයක්’’ ගැන කතා කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු කියන්නේ  ‘‘කර්මාන්ත දියුණු කරන්න පුද්ගලික අංශයට අපි වැඩියෙන් පහසුකම් ලබා දෙනවා ’’ කියාය.

කතා දෙක අතර වෙනසක් තියේද? ඇත්තටම ‘‘වාමාංශික ’’ අනුර දිසානායක කතා කරන්නේ ඇමෙරිකන් ගැති රනිල් වික‍්‍රමසිංහගේ දිව දාගෙනදැයි සිතේ. 

No comments:

Post a Comment