Friday, July 24, 2015

මායාදුන්නේ අනුගමනය කරන්නේ ජවිපෙ "අලූත් " හෘද සාක්ෂියයි



"පාර්ලිමේන්තු ගියොත් මම වැඩ කරන්නේ ජවිපෙ මන්තී‍්‍ර කෙනෙක් විදිහට නෙවෙයි ස්වාධීන මන්තී‍්‍ර කෙනෙක් විදිහටයි. එය තමයි ජනතා විමුක්ති පෙරමුණයි මමයි අතර තියෙන එකඟතාවය". හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා CSN රූපවාහිනී නාලිකාවේ වැඩ සටහනකට එක් වෙමින් එසේ කීවේය. එම වැඩ සටහන "ඇත්ත" නමින් පසු ගිය 21 වනදා එනම් මහ මැතිවරණයට නාම යෝජනා භාරදීමෙන් හරියටම සතියකට පසු විකාශනය විය. වැඩ සටහන මෙහෙය වූයේ ප‍්‍රවීන මාධ්‍යවේදී කුල ශී‍්‍ර කාරියවසම් මහතායි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මහත් ඉහළින් වර්ණනා කරමින් රටට ඉදිරිපත් කළ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර නාම ලේඛනයේ අංක එකට සිටින්නේ සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතායි. පක්ෂයක් නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්ව, මහ ජනතාවගේ ඡන්දයෙන් තේරී, මන්තී‍්‍ර කෙනෙක් විදිහට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්නේ කෙසේදැයි යන උභතෝකෝටිකය වැඩ සටහන මෙහෙය වූ කුල ශී‍්‍රටද තේරුම් ගැනීමට නොහැකි විය. ඒ නිසාම ඔහු ඊලඟ පැනයද සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතාට යොමු කළේය.

 "ජනතා විමුක්ති පෙරමුණ ඔබට මන්තී‍්‍රධූරය නොදී සිටියහොත් " ඒ නිවේදක මහතාගේ පැනයයි.

"ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කරලා ඉවරනම් එසේ කරාවි. නමුත් මම හිතන්නේ නැහැ ඔවුන් දේශපාලනය කරලා ඉවරයි කියලා. ඒ නිසා මට මන්තී‍්‍රධූරය නොදී ඉන්න හේතුවක් නැහැ". සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතාගේ පිළිතුර අපූරුය. ඒ වගේම එහි යටි පෙළ තර්ජනාන්විතය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර නාම ලේඛනයේ අංක එකට සිටින සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතාගේ පිළිතුර ගැනත් ඔහු හා පවතින එකඟතාවය ගැනත් රටට පැහැදිලි කිරීමක් ජවිපෙ නායක මණ්ඩලය විසින් කළ යුතුය. එසේ නොවන්නේ නම් නායක මණ්ඩලයේ හෘද සාක්ෂිය කෙසේ වෙතත් බර අදින ජවිපෙ සාමාජිකයාගේ හෘද සාක්ෂිය තමන්ගෙන්ම ප‍්‍රශ්න කරනු ඇත. ඒ තමන් දන්නා පංති ප‍්‍රශ්නය හා තම පක්ෂයේ මාක්ස් ලෙනින් වාදී වත්මන් ප‍්‍රතිපත්ති ගැනය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක මණ්ඩලය සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතාට ස්වාධීනව එනම් තමන්ට  ඕනෑ පරිදි කටයුතු කරන්න ඉඩ ලබා දුන් පරිදි අනෙක් මන්තී‍්‍රධූර අපේක්ෂකයන්ටද ස්වාධීනව කටයුතු කිරීමට අවසරය ලබා දෙන්නේද? නැතිනම් එය සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතාට පමණක් පක්ෂය ඇතුලේ ලබා දී තිබෙන විශේෂ වරප‍්‍රසාදයක්ද?

මායාදුන්නේ මහතාට තමන්ට කැමැති පරිදි වැඩ කිරීමට අවසරය ලබා දීමෙන් පෙනී යන්නේ ජවිපෙ තව දුරටත් පංති ප‍්‍රශ්නය පිළි නොගන්නා බවත් ඒ මත පදනම්ව දේශපාලන ප‍්‍රතිපත්ති අනුගමනය නොකරන බවත්ය. පංති ප‍්‍රශ්නය පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයක් තුළ ස්වාධීන ස්ථාවරයන්, ස්වාධීන පුද්ගලයින්, ස්වාධීන මත, ස්වාධීනව වැඩ කිරීම ආදී මාතෘකාවන්ට ඉඩක් නැත. රෝහණ විජේවීරයන් ගොඩනැඟූ ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නේ මාක්ස් ලෙනින් වාදයයි. එනම් නිර්ධන හා ධනපති පංතිය ලෙස පංතිමය වශයෙන් ලෝකය බෙදී ඇති බවයි. එම පංති උවමනාවන්ට අනුව  ඕනෑම පුද්ගලයෙක් කටයුතු කරන බවයි. 

ඇත්ත වශයෙන්ම වත්මන් ජවිපෙ හැර අනෙක් කිසිඳු දේශපාලන පක්ෂයක් තමන්ව නියෝජනය කරන මන්තී‍්‍රධූර අපේක්ෂකයෙකුට හෝ මන්තී‍්‍රවරයෙකුට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ ලබා දෙන්නේ නැත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තමන් අනෙක් වාමාංශික,දක්ෂිණාංශික හා ලිබරල් පක්ෂ වලින්ද වෙනස් බව පෙන්වා ඇත.

සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ පෙන්වා දුන්නේ ඒ වෙනසය. මායාදුන්නේ අනුගමනය කරන්නේ ජවිපෙ "අලූත් " හෘද සාක්ෂියයි. 

No comments:

Post a Comment